Thursday, April 25, 2024

General line - 0115112241

එංගලන්ත ක්‍රීඩකයන් කැංගරුවන්ගේ සහ බංගලියන්ගේ ඉරණම විසදූ හැටි




ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ඔස්ටේ‍්‍රලියාවට ඊයේ (10) අහිමි වුණා.

ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 40කින් පරාජය වීමත් සමගයි.

ඒ අනුව "A" කාණ්ඩයේ බංග්ලාදේශය සහ එංගලන්තය මෙවර ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලබා ගත්තා.

බංග්ලාදේශය ICC තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසි පළමු අවස්ථාව මෙයයි.

ඊයේ පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර පනහේදී කඩුලු 09ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

මෙම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ජය තීරණය කෙරුණේ ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුවයි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්තය පන්දුවාර 40 යි පන්දු 02ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියා.

ඒ අනූව එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 40ක ජයක් හිමි වුණා. එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 102ක් රැස් කළ අතර ඔයින් මෝර්ගන් ලකුණු 87ක් රැස් කළා.

ඒ අනූව මෙවර "A" කාණ්ඩයෙන් තරග වැදුණු එංගලන්තය සහ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුකම් ලබා ගත් අතර ඔස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට මෙම අවස්ථාව අහිමි වීම කැපී පෙණුනා.

ඔස්ටේ‍්‍රලියාව මෙවර තරගාවලියේ දී මූලික වටයේ සහභාගි වූ තරග දෙකක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම විශේෂත්වයක්.

ඒ අනුව ඉකුත් 2015 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන්ට මෙවර ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීම කැපී පෙණුනා.

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලැබීමේ තවත් තීරණාත්මක තරගයක් ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර අද (11) පැවැත්වෙනවා. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මෙවර ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලබනු ඇති.