Thursday, April 25, 2024

General line - 0115112241

ජයවර්ධනපුර රෝහලටත් ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීම නවතියි




ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තීරණය කර තිබෙනවා.

රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න පැවසුවේ ඊයේ රාත්‍රීයේ සිට මෙම පියවර ගෙන ඇති බවයි. 

දැනට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර අයි ඩී එච් රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන් තලංගම, වෑතර හා පිළියන්දල යන රෝහල්වලට එම රෝගීන් ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ. 

මීට අමතරව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර තිබුණා. 

එමෙන්ම කොළඹ උතුර සහ දකුණ යන ශික්ෂණ රෝහල්වල ඩෙංගු අධි සත්කාර ඒකක වැඩි දියුණු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැට තුන් දහස් නවසිය අසූ හතක්. 

ඉන් සියයට 43කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. 

වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30ක් ළමුන් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. 

මේ අතර ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා ඔස්ටේ්‍රලියාව සොයා ගෙන ඇති බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත්දා ප්‍රකාශ කළා.