Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ පරාජයෙන් ප්‍රේක්ෂකයෝ කුපිත වෙති - ක්‍රීඩක ආරක්ෂාව දැඩි වෙයි (PHOTOS)




ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පකිස්ථානය හමුවේ තම කණ්ඩායම පරාජය විමත් සමග ඉන්දීය ප්‍රේක්ෂකයින් කුපිත වී තිබෙනවා. 

තරගය අවසානයේ ප්‍රේක්ෂකයින් ප්‍රධාන මාර්ගවලට පැමිණ රූපවාහිනී යන්ත්‍ර පොලවේ ගසමින්, ක්‍රීඩකයින්ගේ ඡායාරූපවලට ගිණි තබමින් නොසන්සුන් ලෙස හැසිරී තිබුණා. 

නායක විරාත් කෝලි හා රවිචන්ද්‍රන් අෂ්වින්ගේ ඡායාරූප ඒ අතර වැඩි වශයෙන් තිබූ බවයි ඉන්දීය මාධ්‍යයන්හි දැක්වෙන්නේ. 

මෙවැනි සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වී තිබුණේ කාන්පූර්, හරිද්වාර් සහ නවදිල්ලි යන ප්‍රදේශවලයි. 

ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දොනිගේ රංචි ප්‍රදේශයේ පිහිටි නිවසට ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා. 

එමෙන්ම ඉන්දීය කණ්ඩායම යළි සිය රට පැමිණෙන විට ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. 
2007 වසරේ ලෝක කුසලාන තරගාවලි පරාජයෙන් පසුව ද ඉන්දීය ප්‍රේක්ෂකයින් මෙලෙස නොසන්සුන් ලෙස හැසිරුණා. 

අවසන් මහ තරගයේ දී පකිස්තානය, ඉන්දියාව පරාජය කළේ ලකුණු 180කින්. 

එය ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ තරගාවලියක අවසන් මහා තරගයකදී කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු පරතරය සහිත පරාජයයි. 

මේ අතර එක්දින කණ්ඩායම් නවතම ශ්‍රේණිගත  කිරීමට අනූව හය වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 08වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. 

බංග්ලාදේශය පසුවන්නේ ද 07 වන ස්ථානයේයි. ශූරතාව දිනූ පාකිස්තානය අට වන ස්ථානයේ සිට 06 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම ද විශේෂත්වයක්. 

පකිස්තානය හමුවේ පරාජය වීමත් සමග ඉන්දියාව ද ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.