Friday, April 19, 2024

General line - 0115112241

පොලොන්නරුවේ කුමන්ත්‍රණයක් ? - "රන් කොත් වෙහෙරට" කළ විනාශය මෙන්න 




පොලොන්නරුව පුරා විද්‍යා ස්ථාන දැන් එක් එක් අය වෙනුවෙන් බාරහාර ඔප්පු කරන ස්ථාන බවට පත්ව ඇති බවත් පෙරේදා(17) කිසියම් පිරිසක් විසින් ට්‍රැක්ටරයක පටවාගෙන ආ කොන්ක්‍රීට් මල් ආසනයක් පිං කැටයක් හා තවත් කොන්ක්‍රීට් බදුනක් ඓතිහාසික රන් කොත් වෙහෙර පාමුළ තබා ගොස් ඇතැයි ද පොලොන්නරුවේ පුරා විද්‍යා උරුමයන් සු‍රැකීමේ සංවිධානය පවසනවා.

එම සංවිධානය වැඩි දුරටත් පවසන්නේ ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පොලොන්නරුව ඓතිහාසික හා පුරා විද්‍යාත්මක ස්මාරක මේ විකෘති කිරීම් හමුවේ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පවා ඉඩ ඇති බවයි.

මෙම තත්ත්වය දිගින් දිගටම සිදුවන බවත් පුරා විද්‍යා ස්මාරක විකෘති කිරීම හෝ එහි පවතින ස්වභාවයට හානි සිදු කිරීම හෝ පුර විද්‍යා ස්මාරක වෙනස් කිරීම හෝ දඩුවම් ලැබිය හැකි වරදක් වුවත් පොලොන්නරුව පුරා විද්‍යා භූමිය තුළ එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

පොලොන්නරුව දළදා මාලිගය වටදා ගෙය අභියසද දැවැන්ත පිං කැට සවි කර ඇතැයි ද පවසන එම සංවිධානය මේ පිළිබදව මුණිවත රකිමින් පුරා විද්‍යාව හා පුරා විද්‍යා උරුමයන් සුරකින ආයතනවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පොලොන්නරුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සැක කරන බවත් පවසනවා.

අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් අපේ උරුමයන් ආරක්ෂා කරගන්න.

අපි රන් කොත් වෙහෙර පාමුල තබන්නට කටයුතු කළ කොන්ක්‍රීට් මල් ආසනය ඇතුළු දේවල් පෙරේදා (17) සවසම ඉවත් කරගන්න ඒ අයට දැනුම් දුන්නා.

ප්‍රාදේශීය ලේකම් තුමත් මැදිහත් වී ඒවා ඉවත් කරන්න පියවර ගත්තා.

පොලොන්නරුවේ පුරා විද්‍යා උරුමයන් ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් නොවන පරිදි ජනතාවට අවශ්‍ය බාරහාර කටයුතු, වන්දනාමාන කටයුතු කරන්න අවශ්‍ය පසුබිම හදාගන්නේ කොහොමද කියලා මූලික සාකච්ඡාවක් අපි පැවැත්වූවා. මොකද පොලොන්නරුවේ පුරාවිද්‍යාව තියෙන්න ඕන.

පුරා විද්‍යා ස්ථාන තියෙන්න ඕන මානව පුරා විද්‍යාවක් විදිහට, පොලොන්නරුවේ පුරා විද්‍යා ස්ථාන විකෘති කරමින් හා එහි පවතින ස්වභාවය වෙනස් කරමින් දිගින් දිගටම මෙම අකටයුතුකම් සිදු වුවහොත් නොබෝ දිනකින් ම පොලොන්නරුවේ පුරා විද්‍යා ස්මාරක ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇතැයි අවධාරණය කරන පුරාවිද්‍යා උරුමයන් සු‍රැකීමේ සංවිධානය මධ්‍යම සංස්කෘතික අරමුදලෙත්, පුරා විද්‍යා නිලධාරීන්ගේත් අනුදැනුම නොමැතිව මෙවැනි කටයුතු සිදු කිරීමට නොහැකි බවත් පෙන්වා දෙනවා.

ඓතිහාසික රන්කොත් වෙහෙර පාමුල සවි කළ කොන්ක්‍රීට් ද්‍රව්‍ය ඉහළ බලධාරින්ගේ නියමයන් පරිදි පෙරේදා (17) සවස් වන විට ඉවත් කරගෙන ඇත.

පින්තූරවල දැක්වෙන්නේ එම කොන්ක්‍රීට් ද්‍රව්‍ය හා පිං කැටය තබා ඇති අයුරුයි