Friday, April 19, 2024

General line - 0115112241

ප්‍රධාන රෝහල්වලට අමතරව සෙසු රෝහල්වලත් ඩෙංගු රෝගීන් පිරෙයි




ඩෙංගු රෝගීන්ගේ තදබදයක්‌ පවතින අයි.ඩී.එච්. උණ රෝහල, මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහල, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල (රාගම), දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල (කළුබෝවිල) හා රත්නපුර මහ රෝහල යන රෝහල්වල තදබදය මඟහැරවීම සඳහා එම රෝගීන් යාබදව පිහිටි රෝහල් කිහිපයක් ‌වෙත යෑවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

මේ අනුව තලංගම, වෑතර, පිළියන්දල, ආනියාකන්ද හා දංකොටුව යන ප්‍රාදේශීය රෝහල්වලට ද ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති අතර රත්නපුර මහ රෝහලේ දැනට ඉදිකර ඇති නව ගොඩනැඟිල්ල ද ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොදාගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න අදාළ නිලධාරීන්ට උපදෙස්‌ දී තිබෙනවා.

මෙම රෝහල්වලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල තාවකාලිකව අනුයුක්‌ත කිරීමට ද පියවර ගැණුනා.

මේ අතර කොළඹ ජාතික රෝහලේද ඩෙංගු රෝගීන්ගේ දැඩි තදබදයක් පවතිනවා. ඉන් 100කට ආසන්න පිරිසක් අවදානම් තත්ත්වයේ පසුවෙන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

(මේ පිළිබඳව පසුගියදා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනකින්ද හෙළි කෙරුණා)