Friday, April 19, 2024

General line - 0115112241

සයිටම් ගැන රජයේ ස්ථාවරය එළියට - සිසුන් බඳවා ගැනීම හා උපාධි පිරිනැමීමත් නවතී




මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකායට පත් කිරීමට තීරණය කර තිබෙනවා. 

අදාළ ගැසට් නිවේදනයේ අන්තර්ගත කරුණු ද ජනාධිපති කාර්යාලය විසින් අද පස්වරුවේ ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. 

ඒ අනුව රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම් හා උපාධි පිරිනැමීම නතර කිරීමටයි තීරණය කර ඇත්තේ. 

වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප‍්‍රමිතීන්ගේ වලංගු භාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය වහාම ගැසට් කිරීම ද ඊට ඇතුළත්. 

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා අපක්ෂපාතීත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ හෝ බලපෑම් සිදු නොවිය යුතුයි. 

සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක‍්‍රමවේදයකට සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයින්ගේ උපාධිය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බවද එහි සඳහන්. 

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වනවා. 

සයිටම් ආයතනය පිළිබඳ රජය ක‍්‍රියා කරන ආකාරය පැහැදිලි කරමින් ජනාධිපති ලේකම් පී බී අබේකෝන් විසින් මෙම නිවේදනය අද ප‍්‍රකාශයට පත් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි. 

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධි විධාන සලසන බවයි. 

සයිටම් ආයතනයට අයත් රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු මේ වනවිටත් සිදු වෙමින් පවතිනවා. 

සයිටම් ආයතනයට අවශ්‍ය අරමුදල් ලබාගැනීම සඳහා කොටස් වෙළඳපොලට ඇතුළත් කිරීම හෝ රාජ්‍ය - පෞද්ගලික අරමුදලකින් සමන්විත භාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සකස් කරනු ඇති. 

ඉහත කරුණු සම්බන්ධයෙන් හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් හෝ ගැටළුවක් ඇත්නම් ඒවා විසඳා ගැනීමට අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද එම නිවේදනයේ සඳහන්.