Saturday, April 20, 2024

General line - 0115112241

ඩෙංගු මර්දන මෙහෙයුමේ දෙවැන්න ගාල්ලේදී (UPDATE)




වී ලීඞ් ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන ඩෙංගු මර්දන මෙහෙයුමේදී මදුරුවන් බෝ වන ස්ථාන තිබෙනු ඇතැයි සාමාන්‍යයෙන් විශ්වාස කළ නොහැකි ස්ථානවලද මදුරුවන් බෝ වන සහ මදුරු කීටයන් සහිත ස්ථාන හමුවුණා.

මෙම මෙහෙයුම අද (28) සිදු කෙරෙන්නේ ගාල්ල හපුගල ප‍්‍රදේශයේදීයි.

ඊයේ (27) බද්දේගම ප‍්‍රදේශය ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදු කෙරුණා.

එහිදී ලද අත්දැකීම් විස්තර කරන බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලීය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායේ කිහිප දෙනෙකු සඳහන් කළේ ඇතැම් නිවෙන්වලින් තමන් වෙත පීඩාකාරි ප්‍රතිචාර දැක්වූ බවයි. ඒ සියල්ලක් විඳ දරා ගනිමින් තම කාර්යය නිසි අයුරින් සිදු කිරීමට අරමුණු කරගත් බවද සඳහන් කළා. ඇතැමුන් සඳහන් කළේ, තම නිවස අවට පරිසරයේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන නැති බවට සිතා සිටි අයගේ නිවෙස් ආශ්‍රිත පරිශ්‍රයන් තුළින් ඔවුන්ද පුදුම කරමින් මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර සොයා ගැනීමට සිය කණ්ඩායමට හැකි වූ බවයි.

මෙම මෙහෙයුමේදී ලැබුණු අත්දැකීම් ජීවිතයට පන්නරයක් බවද නෙත් එෆ් එම් රේඩියෝවට ස්තුතියි වන්ත වන බවද දරු දැරියන් මෙහිදී ප‍්‍රකාශ කළා.

විථි නාට්‍ය සහ අත්පති‍්‍රකා මගින් ජනතාව දැනුවත් කිරීමද හදුනාගත් අවදානම් ස්ථාන දූමානය කිරීමද බද්දේගමදී ඊයේ සිදු කෙරුණා.

අද මෙම මෙහෙයුම සිදු කෙරෙන්නේ ගාල්ල හපුගල මහා විද්‍යාලීය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායේද සහභාගිත්වයෙන්.

එම විද්‍යාලයේ විදුහල්පති මිලින්ද පාඩිකෝරාළ සඳහන් කළේ සමාජයට අවශ්‍ය මොහොතක මෙවැනි වැඩසටහනක් සඳහා සිය පාසලේ දරුවන්ද එක් කර ගැනීමට හැකියාව ලැබීම වඩාත් අගය කොට සලකන බවයි.  .

ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය, බෝපෙ - පෝද්දල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලීසියද අද සිදු කෙරෙන ඩෙංගු මර්දන මෙහෙයුමට එක් වනවා.


 

-------------------------------------

ඩෙංගු මර්දන මෙහෙයුමේ පළමුවැන්න බද්දේගමදී සාර්ථකව අවසන් (PHOTOS)

(2017 / 06 / 27 19:30)

 

වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පය යටතේ නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ඩෙංගු මර්දන මෙහෙයුමේ පළමුවැන්න බද්දේගමදී අද සාර්ථකව අවසන් වුණා. 

ඒ බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලීය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායේ ද සහභාගීත්වයෙන්.

මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර පිරිසිදු කිරීම මෙන්ම ඒ සදහා ජනතාව ආකල්පමය වශයෙන් සූදානම් කිරීමද මෙම වැඩසටහන යටතේ සිදුවනවා. 

එහි දෙවැන්න ගාල්ල හපුගල විද්‍යාලයේදී පැවැත්වෙන්නේ හෙට දිනයේදීයි.

------------------------------------------

ඩෙංගු මර්දනය සඳහා ජනතාව දිරිගන්වන 'නෙත්' මෙහෙයුම (27-06-2017 / 07:30AM)

ඩෙංගු ව්‍යප්තිය මැඩලීම සඳහා තමන් විසින්ම ක‍්‍රියාත්මක වීම වැදගත් බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ හරහා අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ කාර්ය පහසු වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

මේ අතර ඩෙංගු මර්දනය සඳහා ජනතාව දිරිගන්වන නෙත් එෆ් එම් මෙහෙයුම අද (27) ආරම්භ වනවා.

ඒ බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේදීයි. එම විද්‍යාලීය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකාය ද මෙම මෙහෙයුමට එක්වනවා.

බද්දේගම ප‍්‍රාදේශීය සභාව, බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ පොලිසිය ද මෙම මෙහෙයුම සඳහා එක්ව සිටිනවා.

නෙත් එෆ් එම් සංවිධාන කරන මෙම ඩෙංගු මර්දන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර සඳහන් කළේ මුළු රටම ඩෙංගු අවධානමකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම කාර්යය වඩාත් අගය කළ යුතු බවයි.