Friday, March 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට කඩුලූ 07ක ජයක්




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (02) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලූ 07ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 4ක දී සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30යි එක් පන්දුවක දී කඩුලූ 03ක් පමණක් දැවී ලකුණු 158ක් රැස් කර ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. 

උපුල් තරංග නොදැවී ලකුණු 75යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 35ක් රැස් කළා. 

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28යි. පන්දු යැවීමේ දී ටෙටින්ඩයි ජටාරා ලකුණු 32කට කඩුලූ 02ක් බිඳ හෙළුවා. 

----------------------------------------------------------

වනිඳු හසරංග සිම්බාබ්වේ අසරණ කරමින් ලැබූ කඩුලු ත්‍රිත්වයේ දර්ශන මෙන්න (VIDEO) (02-07-2017 / 13:52PM)

වනිඳු හසරංග   අද (2) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව  ලබාගත්   කඩුලු ත්‍රිත්වයේ දර්ශන පහතින් නැරඹිය හැකියි.


මංගල තරගයෙන් එවන් දස්කමක් දැක්වූ ලොව තෙවන ක්‍රීඩකයා  මෙන්ම ලංකා  ඉතිහාසය තුළ දඟ පන්දු යවන්නෙකු ජාත්‍යන්තර තරගයක කඩුලු ත්‍රිත්වයක් ලැබූ පළමු අවස්ථාව ද මෙයයි.

.......................................................

වනිඳු හසරංග මංගල තරගයෙන්ම කඩුලු ත්‍රිත්වයක් ලබයි

02-07-2017 12:26

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් වාර්තා පොත් අතරට එක් වුණා.

මෙහි විශේෂත්වය වන්නේ ඔහු සහභාගී වූ පළමු තරගයේදීම මෙම දක්ෂතාවය පෙන්නුම් කිරීමයි.

දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙලෙස පිට පිටම දවා ගත්තේ සිම්බාබ්වේ ඉනිමේ අටවැනි, නවවැනි හා දස වැනි කඩුලු තුනයි.

 තරගයේ 34 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන විට ඔහු මෙම දක්ෂතාවයට හිමිකම් කිවුවා.

පළමු කඩුල්ල ලෙස මැල්කම් වෝලර් , දෙවැනි කඩුල්ල ලෙස ඩොනල්ඩ් ට්‍රිපානෝ , තෙවැනි කඩුල්ල ලෙස ටෙන්ඩායි චටාරා වනිඳුගේ පන්දු හමුවේ දැවී ගියා. 

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 156 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට  පන්දුවාර 33 යි පන්දු 4 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 155 ක් පමණයි. 

---------------------------------

මංගල එක්දින තරග වරම් ලැබූ වනිඳු ' ගාල්ල පිටියට බැස්ස මොහොතේම ' ඉතිහාසගත වෙයි

2017 - 07 - 02 10:00

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය සඳහා වනිඳු හසරංග ක්‍රීඩා කරනු ලබනවා.

ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.


ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කළ 19 හැවිරිදි වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයකු වනවා.

ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ චතුරංග ද සිල්වාගේ බාල සොහොයුරා වන බැවින්  එකම පවුලේ සහෝදරයන්  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ පිල නියෝජනය කරන අවස්ථාවක් බවට එය පත්වනවා. 

තිලාන් සමරවීර සහ දුලිප් සමරවීර ද  ඊට පෙර රණතුංග සහ වෙත්තමුණි සහෝදරයන් ද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

 

.....................................................................

අද නෑ කිව්ව මාලිංග පිටියට ඇවිත් - ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනයි

02-07-2017 09:46

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (2)පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

වෛරස උණ රෝගයකින් පෙළෙන බව කි‍්‍රකට් ආයතනය පැවසු ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් අද තරගයට සහභාගී වන බව වාර්තා වනවා.
 


සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට  අද තරගය ඉතා තීරණාත්මක එකක් වනවා.