Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති දයාසිරි ක‍්‍රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් ගැන වාර්තාවක් ඉල්ලයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳ වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස ක‍්‍රිඩා අමාත්‍යංශය ක‍්‍රිකට් ආයතනයට ලිපියකින් දන්වා තිබෙනවා. ඒ, මේ දිනවල කතා බහට ලක්ව ඇති පෞද්ගලික විදෙස් කළමනාකරුවෙකු සිය සේවය සපයන ක‍්‍රීඩකයින් හරහා ජාතික කණ්ඩායම තේරීමේ දී ද බලපෑම් එල්ල කරන බවට පළ වූ වාර්තා හේතුවෙන්. 

මේ පිළිබඳව පළමු වරට නෙත් ස්පෝර්ට්ස්මන් කරුණු අනාවරණ කිරීමත් සමග සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ද දැඩි කතාබහක් මතු වුණා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් රැසකගේ පෞද්ගලික කළමනාකරු වන මෙම විදෙස් කළමනාකරු සිිම්බාබ්වේ සමග පැවති දෙවන එක්දින තරගයේ වීරයා වූ ලක්ෂාන් සඳකැන් එම තරගයෙන් ඉවත් කිරීමේ උත්සහයක නිරත වූ බවට නෙත් ස්පෝර්ට්ස්මන් කරුණු අනාවරණ කළා. පසුව සඳකැන්ට එම තරගය සඳහා ක‍්‍රීඩා කිරීමට 
හැකි වූයේ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ ඍජු මැදිහත්වීමත් සමගයි. 

දිගින් දිගටම ජාතික ක‍්‍රිකට් කණ්ඩායම තේරීමේ දී මෙම විදෙස් කළමනාකරු මෙවැනි බලපෑම් සිදු කර ඇති බව අනාවරණ වී තිබෙනවා. අදාළ කළමණාකරුගේ සේවය ලබාගන්නා කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු වත්මන් කණ්ඩායමේ සිටීම නිසා එම කී‍්‍රඩකයින් සහභාගි වන සෑම තරගයකදී ලැබෙන මුදලින් සියයට 10ක කොටසක් මෙම විදෙස් කළමණාකරුට හිමි වනවා. ලක්ෂාන් සදකැන් ඔහුගේ පෞද්ගලික කළමණාකරු නොවීම නිසා සදකැන් එම තරගයෙන් ඉවත් කර වෙනත් කී‍්‍රඩකයෙකු යොදා ගැනීමටයි සැලසුම් කර තිබුණේ. ජේ්‍යෂ්ඨ කි‍්‍රඩකයින් හරහා අදාළ පෞද්ගලික විදෙස් කළමණාකරු සිදු කරන මෙම ක‍්‍රියාව හේතුවෙන් තමන් සියලූ ක‍්‍රීඩකයින්ගේ කළමනාකරුවන් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස ක‍්‍රිකට් ආයතනයට දැන් වූ බවයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.