Friday, April 26, 2024

General line - 0115112241

උමා ඔය ගැන ජනපතිට බොරු කියනවද? ජනපති බොරු කියනවද? ඒකාබද්ධ විපක්ෂය විමසයි




වැරදි තොරතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා නොමග යැවීමට ඇතමුන් කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අත්සන් කෙරුණු ගිවිසුම සම්බන්ධයෙන් ද මෙවැනි නොමග යැවීමක් සිදුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ. 

"උමා ඔය ගිවිසුමට වාරිමාර්ග ලේකම් අත්සන් කරල තියෙනව. ඒ ලේඛනවල පිටපත් අපි ළඟ තියෙනව. කවුරුහරි බොරු තොරතුරු දීල නොමග යවල. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ආණ්ඩුවේ ඇමතිවරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අප්‍රසාදයට ලක්කෙරුව වගේ වත්මන් ජනාධිපති තුමත් අප්‍රසාදයට පත් කරන්න කවුරුහරි බොරු කියනවද? නැත්නම් ජනාධිපති තුමාම බොරු කියනවද කියල සැක දෙකක් අපිට තියෙනවා." යැයි මන්ත්‍රීවරයා පවසනවා. 

ත‍්‍රීකුණාමලයේ දී පැවැති ජන රැළියෙන් පසු ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට එල්ල කරන පීඩනය වැඩිකර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

"රජය ප්‍රහාරාත්මක වැඩපිළිවෙල වැඩි කරල තියෙනව පේනව. ජනාධිපති තුමා විසිනුත් අභූත නගනව. මැතිවරණය පැවැත්වෙනව නම්, ඒක කුමන තත්ත්වයෙන් පැවැත්වුණත් මුහුණ දෙනව. ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයෙන් ජාතික සන්ධානයක් ලෙස කටයුතු කරන්න අපි සූදානම්"

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු සහභාගී වූ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නෙලූම් මාවතේ පිහිටි කාර්යාලයේ දී පැවැත්වුණා. වර්තමානයේ උද්ගතව ඇති දේශපාලන තත්වය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු බවයි රංජිත් ද සොයිසා මන්ත‍්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.