Friday, April 19, 2024

General line - 0115112241

හින්දු නායකයකුගේ සිරුර ශීතකරණයේ තබාගෙන පණ එනතුරු බලා සිටින අනුගාමිකයෝ




දිවියෙන් සමුගත් සිය හින්දු ආධ්‍යාත්මික නායක පූජකවරයකුගේ (Guru) මෘතදේහය ශීතකරණයක තැන්පත් කර තබා ගැනීම සඳහා ඉන්දියානු උසාවියකින් අවසර දී ඇතැයි බීබීසීය පවසනවා.

අශුතෝෂ් මහාරාජ් (Ashutosh Maharaj ) නම් එම සාධුවරයාගේ සිරුර 2014 වසරේ අක්‍රිය වීමෙන් අනතුරුව ඔහුගේ අනුගාමිකයින් එම දේහය පසුගිය වසර තුනක කාලය තුළ පංජාබයේ පිහිටි ඔවුන්ගේ විශාල ආශ්‍රමයේ ශීතකරණයක හොවා රැක බලා ගනිමින් සිටිනවා.


2014 වසරේ සාධුවරයා දිවියෙන් සමුගත් නමුත් එතුමා මියගිය බව පිළිනොගන්නා අනුගාමිකයෝ සිය නායකයා ගැඹුරු භාවනාවක නිරත වෙමින් සිටින බව කියාසිටින අතර එම සිරුර ආදාහනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. භාවනාවෙන් මිදුන සැණින් සාධුවරයා යළි නැගී සිටිනු ඇතැයි පවසන එම අනුගාමිකයින් සිය නායකයාගේ සිරුර වෙළෙඳසැල්හි ආහාර ද්‍රව්‍ය තබන ආකාරයේ විශාල දිග ශීතකරණයක තැන්පත් කර රැක බලා ගන්නවා..

එම සිරුර සම්බන්ධයෙන් ගතයුතු ඊළඟ පියවර සම්බන්ධයෙන් සාධුවරයාගේ අනුගාමිකයන් සහ ඔහුගේ පුත්‍රයා ලෙස පෙනී සිටින දලිප් කුමාර් ජා (Dalip Kumar Jha) නම් පුද්ගලයකු අතර වසර තුනක කාලයක් දිග්ගැසුන නෛතික අරගලයක් පැවතුණ අතර සිය පියාගේ දේහය හින්දු චාරිත්‍ර විධි අනුව ආදාහනය කළ යුතු බව දලිප් කුමාර් පවසනවා.

සිය පියාගේ දේහය ආදාහනය කිරීමට අවසර දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණද සාධුවරයාගේ අනුගාමිකයෝ ඊට එරෙහි විය. එම ආරවුල විභාග කළ පංජාබ් සහ හර්යානා මහාධිකරණය දලිප් කුමාර් ජා විසින් කරන ලද ඉල්ලීම බැහැර කර තිබෙනවා.

ඉන්දියාවේ පමණක් නොව ඉතා කෙටි කාලයක් ඇතුළත යුරෝපය,මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව,දකුණු ඇමෙරිකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව ලොවපුරා විහිදුණ එම සංවිධානය සතු ආර්ථික ශක්තිය ඩොලර් කෝටි දොළහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
අක්කර සීයකින් යුත් පංජාබයේ පිහිටි  මහා මූල්‍ය වත්කමක් සහිත එහි ප්‍රධාන ආශ්‍රමය අධි ආරක්ෂක රැකවල් සහිතව පවත්වා ගෙන යන අතර තම පියාගේ දේහය ආදාහනය නොකර තබා ගන්නේ එම වත්කම් නිසා යයි සාධුවරයාගේ පුත්‍රයා අනුගාමිකයන්ට චෝදනා කරනවා.

2014 වසරේ අශුතෝෂ් මහාරාජ් අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රකාශක ස්වාමි විශ්ලානන්ද් (Swami Vishalanand) බීබීසියට ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ "මහාරාජ් මරණයට පත්වුණේ නැහැ. වෛද්‍ය විද්‍යාවට යෝගී විද්‍යාව වගේ දේවල් ගැන අවබෝධයක් නැහැ. අපි බලමු. - මොකද වෙන්නේ කියල. මහාරාජ් ආයෙත් එනවා. ඒක අපට විශ්වාසයි" යනුවෙනි.