Tuesday, April 16, 2024

General line - 0115112241

තම රට හුදකලා කළාට කටාරය ප්‍රතිචාර දක්වයි




තම රට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිව අසල්වැසි රටවල්වලින්  වන්දි ඉල්ලා සිටින බව කටාර් බලධාරීන් සඳහන් කරනවා.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බව පවසමින් පසුගියදා සෞදි අරාබිය, එක්සත් එමීරය, බහරේන් සහ ඊජිප්තුව යන අසල්වැසි රාජ්‍යයන් එරට සමඟ ගුවන් සහ නාවික සබඳතා අත්හිටුවීමට කටයුතු කළා. එමගින් තමන් ආර්ථික වශයෙන් හුදෙකලා කරන ලද බවයි කටාරය පෙන්වා දෙන්නේ.

ත්‍රස්තවාදයට උපකාර කරන බවට එල්ල කෙරෙන චෝදනා කටාරය විසින් දැඩිව බැහැර කරනු ලැබ තිබෙනවා.

කෙසේ වුවද, ඉහත කී ආර්ථික සම්බාධක හේතුවෙන් සිය රටේ ව්‍යාපාරික සමාගම්වලට සහ පෞද්ගලික මට්ටමින් පුරවැසියන්ට අත් වූ පාඩුව සහ අලාභය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා එරට බලධාරීන් විසින් කමිටුවක් ද පත් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

අසල්වැසි රටවල් ගුවන් සම්බාධක පැනවීම නිසා කටාර් ජාතික ගුවන් සේවයට විකල්ප ගුවන් මාර්ග ඔස්සේ පියාසර කිරීමට සිදු වූ අතර එමගින් අත්වූ පාඩුවත් ඉහත කී වන්දි ඉල්ලීම්වලට ඇතුළත් කිරීමට ඉඩකඩ ඇති බවත් වාර්තා කරනවා.

පනවා ඇති කොන්දේසි අතර අල්ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම සහ ඉරානය සමඟ පවතින සබඳතා අඩු කිරීම ඇතුළත් වනවා.

තමන්ට ඉදිරිපත් කර ඇත්තේ "ක්‍රියාවට නැංවිය නොහැකි" කොන්දේසි මාලාවක් බවයි කටාර් රාජ්‍යය පවසන්නේ.