Saturday, April 20, 2024

General line - 0115112241

තරග 06ක් පැරදුනත් අවසන් තරගය වෙනුවෙන් අපේ කෙල්ලන් කළ සටන




ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයක් ගෙන දෙමින් මෙවර ලෝක කුසලාන කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරග ඊයේ (15) පැවැති තරගයත් සමග නිමාවට පත්වුණා.

ඒ, පාකිස්ථාන කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 221ක් රැස් කළා.

ශ‍්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ  ඩිලානි මනෝදරා. ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 84ක්.

ලකුණු 222ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 04ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 206ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චන්දිමා ගුණරත්න ලකුණු 41කට කඩුලු 04ක් බිඳ හෙලීමට සමත් වුණා.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන්  මෙවර ලෝක කුසලාන කාන්තා එක් දින ක‍්‍රිකට් තරගාවලියේ වාර්තා කල පළමු ජයග‍්‍රහනයද මෙයයි. 

හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ඊයේ එක්වුණේ සිය එක් දින ක‍්‍රිකට් දිවියේ සියවන තරගයටයි. ජාත්‍යන්තර එක් දින තරග 100ක් ක‍්‍රීඩා කළ පළමු ශ‍්‍රී ලාංකික කි‍්‍රඩිකාව ලෙස ද ඇය මෙහිදී වාර්තා පොත් අතරට එක් වුණා.    

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග 07න් තරග 06ක් පරාජය වීම දක්නට ලැබුණා. ඒ අනුව මෙවර ලෝක කුසලාන කාන්තා එක් දින ක‍්‍රිකට් තරගාවලියට එක් වුණු කණ්ඩායම් 08 අතරින් ශ‍්‍රි ලංකාවට හිමි වූයේ හත් වන ස්ථානයයි.