Thursday, April 25, 2024

General line - 0115112241

පැරා මළල කී‍්‍රඩා තරගාවලියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලොවම අවධානය දිනූ හැටි (PHOTOS)




ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියේ දී ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු පිටියේදී කළ සුවිශේෂී කි‍්‍රයාවක් පිළිබඳ දෙස් විදෙස් බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් තුළින් අද අප ඔබට කියන්නේ ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියේදී අවධානයට ලක්වූ එම ආබාධිත මළල කී‍්‍රඩකයා කළ සුවිශේෂී ක‍්‍රියාව පිළිබඳවයි.

ඔහු නමින් අනිල් ප්‍රසන්න ජයලත්. මෙවර තගරාවලියේදී ටී42 පාද ආබාධ සහිත මීටර් 100 තරගයට එක්ව සිටි ඔහු ක්‍රීඩාවේ ජීව ගුනය යළිත් ලොවටම පසක් කර දුන්නා.

තමන්ට වඩා සියලු පහසුකම්වලින් සමන්විත ප්‍රතිවාදී ක්‍රීඩකයින් අභිබවමින් එම ඉසව්වේ පළමු මීටර් 50 දී පෙරමුණ ගැනීමට අනිල් ප්‍රසන්න සමත් වුණා. තරගයේ අවසාන මීටර් 40 දී දකුණු අප්‍රිකානු නවක ක්‍රීඩකයා, පෙරමුණ ගෙන සිටි අනිල් ප්‍රසන්න වෙත වේගයෙන් ඇදී ආවා. 

කෙසේවෙතත් ඔහුට ඔහුගේ පාදවලට දමා ඇති උපාංගය නිසා වේගය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව අනිල් ප්‍රසන්න මේ මොහොතේදීම තේරුම් ගත්තා. 

මීළඟ නිමේෂයේදී එම ක්‍රීඩකයා අනිල් ප්‍රසන්න ආසන්නයේදී ඇද වැටෙන්නේ සිය සමබරතාවය ගිලිහී යෑම හේතුවෙන්. 

ඉන්පසු තවත් මොහොතකින් තරගය නිමා වුවත් තරග බිමේ ඇද වැටුණු ක්‍රීඩකයා වෙත කිසිවෙකු දිව යනවා අනිල් දකින්නේ නැහැ. තවත් කාලය නොගෙන අනිල් යළි දුවන්නට පටන් ගන්නේ එම ඇද වැටුණු ක්‍රීඩකයා දෙසටයි.

ඒ වන විටත් තනිව නැගිටින්නට වෙර දරන ක්‍රීඩකයා දෙස සියලුම දෙනා බලා සිටියා පමණයි. ජයග්‍රහණයේ සතුට සමරමින් සිටි පිරිස එකවරම අවධානය යොමු කරන්නේ ඇද වැටුණු ක්‍රීඩකයා නැගිටවූ අනිල් ප්‍රසන්නව දැකීමෙන්. 

ඔහුට තරගය නිමා කිරීමට සහයෝගය දුන් අනිල් ප්‍රසන්නව ලෝකය හඳුන ගන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය යළිත් ලොවට මතක් කර දෙමින්. 

කෙසේවෙතත් අනිල් ප්‍රසන්න මෙම ඉසව්වෙන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවත් අවසන් තරගයේදී වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් පදක්කම් සිහිනය බොඳ වී යනවා.

මව් බිම බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ලේ හැලුව රණ විරුවෙකු වන අනිල් ප්‍රසන්න ශ්‍රී ලංකා යුද හමුදා කොමන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් මේජර්වරයෙකු ලෙස  තව දුරටත් සේවය කරනවා.

2009 වසරේ පෙබරවාරි මස 26 වැනිදා උතුරේදී ත්‍රස්තවාදීන්ගේ RPG ප්‍රහාරයකින් අනිල් ප්‍රසන්න තුවාල ලබනවා. පසුව සුවය ලබන අනිල් ප්‍රසන්න දණහිසෙන් පාදය නැමිය නොහැකි තත්ත්වයට පත් වුණා. 

2013 වසරේ ක්‍රීඩාවට පිවිසෙන ඔහු  මේ දක්වා ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වී පදක්කම් රැසක් මව්බිමට දිනා දී තිබෙනවා.