Thursday, April 25, 2024

General line - 0115112241

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන තවත් කරුණු රැසක් හෙළි වෙයි




යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ක්‍රියාකල ආකාරය පිළිබඳ තවත් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන ශ්‍රීගජන් නැමැති නිලධාරියා ස්විස් කුමාර් නැමැත්තාව පොලිසියට ගෙන රැගෙන ආවේ ඝාතන සිද්ධියට අදාල සැකකරුවෙකු වශයෙන් නොවන බවයි කරුණු ඉදිරිපත් වී ඇත්තේ.

ස්විස් කුමාර් නැමැත්තා පහරකෑමේ සිද්ධියක් ගැන පැමිණිල්ලක් පමණක් සිදුකළ බවයි හිටපු යාපනය  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දෙමින් සඳහන් කර ඇත්තේ. 

එලෙස පැමිණිල්ලක් සිදුකර ස්විස් කුමාර් නැමැත්තා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට යැයි කියමින් රැගෙන ගිය බවත් මෙලෙස සිදුකරන්නැයි මේ වන විට අත්අඩංගුවේ සිටින උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් වෙත උපදෙස් දුන් බවත් උප පොලිස් පරීක්ෂක ශ්‍රීගජන් තමන්ට කී බවද හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුගිය 2015 මැයි මස 13 වැනිදා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර මරා දැමූ යාපනය පුංකුඩිතීව්හි පදිංචි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ දෙවන අධියරේ දෙවන දින සාක්කි විමසීම ඊයේ (19)  අන්නාලිංගම් ප්‍රේමශංකර්, මානික්කවාසගර් ඉලංචේලියන්, බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කෙරුණා.

විත්තිකරුවන් වන බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිතරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් ගුහදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන විත්තිකරුවන් 09 දෙනාද අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ සිටියා.