Saturday, April 20, 2024

General line - 0115112241

යන මන්ත්‍රි එන තෙක් ඒකාබද්ධ විපක්ෂය බලා සිටී




දැනට විදේශගතව සිටින පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ දිවයිනට පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ රොෂාන් රණසිංහ මන්ත‍්‍රීවරයා මේ දිනවල විදේශ ගතව සිටින බවයි.

තරුණ මන්ත‍්‍රීවරුන්ට තම ආසනය තුළ ක‍්‍රියාකාරීව දේශපාලනය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැම විටම අවස්ථාව ලබා දී ඇති බවත් කුමන හෝ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ කඩිනමින් සොයා බලන බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තමන් ඉවත් වන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (19) සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී පිළිතුරු ලබා දෙමින් බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් යැයි කියා ගන්නා ඇතමුන් තම දිස්ත‍්‍රික්කයේ දේශපාලන කටයුතු තමන්ට නොකියා හිතු මතේ කරගෙන යාම හේතුවෙන් තමන් දැඩි ලෙස කලකිරී සිටින බවයි රොෂාන් රණසිංහ මන්ත‍්‍රීවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්තගෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා. 

එහිදී ඔහු සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය යනු පැන නැගෙන ගැටලු විසඳා ගනිමින් ඉදිරියට යන පක්ෂයක් බවයි. තරුණ මන්ත්‍රිවරු පක්ෂයට ශක්තියක් බවත් සඳහන් කළා.