Saturday, April 20, 2024

General line - 0115112241

මරණ මංචකයෙන් ගැලවුණු විනිසුරු සිද්ධියට මුහුණු දුන් හැටි පැහැදිළි කරයි




යාපනය, නල්ලූර් ප‍්‍රදේශයේදී ඊයේ (22) පස්වරු 5.30 ට පමණ එල්ල වූ වෙඩි ප‍්‍රහාරය තමන් ඉලක්ක කර ගනිමින් සිදුවූවක් බව යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගත යුතු බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා යාපනය රෝහලට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාධිකරණ විනිසුරුවරයා මේ බව කියාසිටියා.

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ගමන් කළ වාහනය හරස් කල පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු මේ වනවිට යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්දැකීම් සහිත වෙඩික්කරුවෙකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ.

එමෙන්ම අදාළ නිලධාරීන් එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරයෙන් වෙඩික්කරුටද තුවාල සිදුවන්නට ඇතැයිද මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් එහිදී වැඩිදුරටත් කියාසිටියා. සැකකරු තුවාලයක් සිදු වුණ ස්වරූපයෙන් දිව ගිය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

යාපනය විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග කෙරෙන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙසද විනිසුරු එම්. ඉලංචේලියන් කටයුතු කරනවා.

ඒ අනුව  යාපනයේ නල්ලූර් කෝවිල අසල මංසන්ධියේ දී තමන් ඉලක්ක කරගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය පැහැදිලිවම අධිකරණයට කෙරුණු තර්ජනයක් බවයි යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේරියන් අවධාරණය කරන්නේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ,

"මේ සිද්ධිය පිළිබඳව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන මෙන් මම ජනාධිපතිවරයා, අධිකරණ ඇමතිවරයා, අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. යතුරු පැදියකින් පැමිණි මගේ පොලිස් ආරක්ෂක නිලධාරියා, නල්ලූර් කෝවිල අසල හන්දියේදී වාහන නතර කරලා මගේ වාහනයට ඉඩ සලසා දුන්නා. ඒ වෙලාවේ සාමාන්‍ය වැසියෙක් පොලිස් නිලධාරියා ලඟට ඇවිත් ඔහුගේ ඉනේ තිබුන පිස්තොලේ ගන්නවත් එක්කම ඔවුන් දෙදෙනා විනාඩි දෙක තුනක් පොර බැදුව, ඒ වෙලාවේ මම හිටියේ එතැනට අඩි අටක් විතර ලඟින්. මම වහාම වාහනයෙන් බැහැල කිසියම් තැනකට දුවනවාත් එක්කම අර පුද්ගලයා මගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තිබ්බා. ඊට පස්සේ ඔහු මට වෙඩි තියන්න හදනකොටම මගේ තවත් ආරක්ෂක නිලධාරියෙක් මාව කාර් එකට තල්ලු කළා. මම හැමදාම ගමන් කරන්නේ නල්ලූර් කෝවිල පාරේ. ඒ නිසා කවුරු හරි මගේ වාහනේ පස්සෙන් ඇවිල්ලා තියෙනවා."