Friday, April 19, 2024

General line - 0115112241

විනිසුරුට වෙඩි තැබූ සිද්ධියේ දෙදෙනෙක් කොටු කරයි




යාපනය, නල්ලූර් ප‍්‍රදේශයේදී ඊයේ (22) පස්වරු 5.30 ට පමණ එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරා සහ ඥාති සහෝදරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වනවිට මුලික ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා. 

වෙඩි තැබීම සිදුකළ ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

සිද්ධියෙන් විනිසුරුවරයාගේ ජීවිතයට හානියක් සිදු නොවුණත් ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉන් එක් පොලිස් නිලධාරියෙකු අද (23) අලුයම ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර අදාළ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යාපනය නල්ලූර් මංසන්ධියේ වෙළදසැල්වල හා රාජ්‍ය ආයතනවල පිහිටි සී සි ටී වි කැමරා දර්ශන ලබාගැනීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.