Thursday, April 25, 2024

General line - 0115112241

අතේ තිබූ කාන්තා ලෝක කුසලානය ඉන්දියාවෙන් ගිලිහෙයි




2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්තය ඊයේ (23) රාත්‍රියේ සමත් වුණා. 

ඒ, ඉතිහාසයේ පළමු වරට කාන්තා ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාව දෙවන වරටත් ඉන්දියාවට අහිමි කරමින්. 

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 09කින්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු  07කට ලකුණු 228යි. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දියාවට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 219ක් පමණයි. 

43 වන පන්දුවාරය වනවිට ඉන්දියාව කඩුලු  03කට ලකුණු 191ක් රැස් කර ගිනිමින් ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ සිටියා. 

එහෙත් ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු  07, පන්දුවාර 06ක් තුළ ලකුණු 28කට බිඳ වැටීමත් සමග නොසිතූ ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායමට හැකි වුණා. 

එංගලන්තය කාන්තා ලෝක කුසලානයක් දිනාගත් සිව්වන අවස්ථාව ද මෙය වනවා. ඒ, 1973, 1993 සහ 2009 වන වසරවලදීයි. 

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 06කට මුහුණ දුන්නද ජයගත්තේ පකිස්තානයට එරෙහි තරගය පමණයි. 

එහෙත් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී නොදැවී ලකුණු 178ක් රැස් කළ චමරි අතපත්තු මෙවර තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාව බවට පත්වුණා.