Friday, March 29, 2024

General line - 0115112241

ආරක්ෂක ලේකම් - ත්‍රිවිධ හමුදාපතිවරු - පොලිස්පතිවරයා කැඳවමින් සිදු කළ විශේෂ සාකච්ඡාව මෙන්න




ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා එක්ව රටේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් අද (24) විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ද මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාක අංශවල විශේෂඥ දැනුම හා අත්දැකීම් වෙනත් රටවල් සමග හුවමාරු කර ගැනීම හා ආරක්ෂක අංශයේ විදේශ පුහුණුවීම් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යෑම ආදී කරුණු පිළිබඳවයි.

එමෙන්ම උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී ආරක්ෂක අංශවල දායකත්වය කෙසේ විය යුතුද යන්නත් මෙහිදී අවධානය යොමු වූ තවත් කරුණක්.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැරදි ප්‍රතිරූපයක් ඇත්නම් එය නිවරැදි කළ හැක්කේ කුමන ආකාරයටද යන්නත් මෙහිදී අවධානයට යොමු වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී  ලංකාවේ ආරක්ෂක අංශවල ගෞරවය, සුරක්ෂිතතාවය, එමෙන්ම රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා ගතයුතු පියවරයන් කෙසේද යන්න පිළිබඳවද අවධානයට ගෙන තිබෙනවා.

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර,  යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත් ජයසුන්දර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබෙනවා.