Wednesday, April 24, 2024

General line - 0115112241

"අපොහොසත්වීම කාගෙදැයි සොයනවා" - ඇමති සාගල කණගාටුව පළ කරමින් කියයි




වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසිය අතින් අඩු පාඩු සිදුව ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක අද (25) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. 

මෙම සිද්ධියෙන් අපහසුතාවට පත් වූ සියලු පාර්ශ්වවලට සිය කණගාටුව පළ කරන බව ද අමාත්‍යවරයා මෙහි දී ප‍්‍රකාශ කළා. 

ඒ අනුව මහජනතාවගේ සහ ජාත්‍යන්තරයේ දැඩි අවධානයට යොමු වෙන මෙවැනි ක්‍රියාදාමයන් සිදු කිරීමේදී කොළඹ අපරාධ කොට්ටාශය භාර අධ්‍යක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ රැඳී සිටිමින් කණිෂ්ඨ නිලධාරීන් වෙත නිසි උපදෙස් ලබා දී කළ යුතු රාජකාරීය පිළිබඳව නිවරැදිව දැනුවත් කර නිලධාරීන් මෙහෙයවීමට අපොහොසත්වීමක් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යම් රාජකාරී අතපසුවීමක් සිදු කර ඇත්දැයි පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදුන් බවද සඳහන් කළා.

මේ අතර පසුගියදා අත්අඩංගුවට ගැණුනු කොකේන් තොගය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය සාගල රත්නායක සඳහන් කළේ සීනි බහලුම් තුළ මත්ද්‍රව්‍ය රැගෙන ඒම රජයට විශාල ගැටලුවක් වී ඇති බවයි. කෙසේවෙතත් සෑම බහලුමක්ම සියුම්ව පරීක්ෂා කිරීමේදී විශාල කාලයක් මෙන්ම තවත් ප්‍රශ්න රැසක් මතුවෙන බවත් එම කාලය තුළ වෙළඳපොලේ ඇති සීනි ප්‍රමාණය සහ මිල කෙරෙහිද බලපෑම් ඇති කළ හැකි බවත් පෙන්වා දුන්නා. කෙසේවෙතත් මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට රජය උපරිම උත්සහ කරන බවත් තාක්ෂණය භාවිතා කරන්නට අවධානය යොමු කර ඇති බවත් පෙන්වා දුන්නා.