Friday, March 29, 2024

General line - 0115112241

මිනිසාගේ ශුක්‍රාණු වේගයෙන් අඩුවීගෙන යයි - විද්‍යාඥයින්ගේ සොයා ගැනීමෙන් ලොව කැළඹෙයි (VIDEO)




පුරුෂයින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය වර්තමානයේ සැළකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව වනතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එම පර්යේෂණ උපුටා දක්වන විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පුරුෂයින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය දැනට පවතින වේගයෙන් අඩු වීගෙන ගියහොත් මානව සංහතිය මිහිමතින් අතුරුදන්ව යා හැකි බවයි.

මෙය අදාළ කරුණ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විශාලතම පර්යේෂණ ඇගයුම් වන අතර ඒ සඳහා 1973 සහ 2011 යන වර්ෂ අතරදී කරන ලද අධ්‍යයන රැසක ප්‍රතිඵල එක්කරගෙන තිබුණා.

ඒ අනුව අධ්‍යයන 200ක් ඇසුරින් කරන ලද ප්‍රතිඵල පදනම් කරගනිමින් පර්යේෂකයින්ට අනුව පෙනී ගොස් තිබෙන්නේ වසර 40 ට අඩු කාලයකදී උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩකින් අඩුවී ඇති බවයි.

මානව ප්‍රජනනය සම්බන්ධයෙන් සොයාගන්නා ලද නවතම තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් විශේෂඥයෝ සැක සංකා පළ කරන්නටද මේ වන විට පෙළඹී ඇති බවයි වැඩි දුරටත් එම වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රධාන පර්යේෂක ආචාර්ය හැගායි ලෙවීන් පවසන්නේ අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව තමන්ට ඇත්තේ "මහත් කණස්සල්ලක්" බවයි.

අපගේ ජීවන රටාව, පරිසරය, ආතතිය, රසායනිකවලට නිරාවරණය වීම වෙනස් නොකළොත්, අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න ගැන විද්‍යාඥයින් තුළ ඇත්තේ කුතුහලයක්.

ආචාර්ය ලෙවීන්ට අනුව ශුක්‍රාණු ප්‍රමාණයේ 52.4% ක පහළ යාමක් සොයාගෙන ඇති අතර උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ සමස්ත ශුක්‍රාණු ගණනයේ 59.3% ක අඩුවීමක් ඇති බව හෙළිවී තිබෙනවා.

දකුණු ඇමෙරිකාව, ආසියාව හා අප්‍රිකාවේ සැළකිය යුතු පහළ යාමක් නොපෙන්වුවත් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ අදාළ මහාද්වීපවල මෙවැනි පර්යේෂණ ක්‍රියාත්මක වී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවයි.