Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දු - ලංකා ගිවිසුමට වසර 30ක් සපිරෙද්දී සම්බන්ධන් රහසක් හෙළි කරයි




ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට ලක් නොවුනා නම්, ජාතික ගැටළුවට අනිවාර්යෙන්ම විසඳුමක් ලබාගත හැකිව තිබූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. 

13 වන ව්‍යවස්‌ථා සංශෝධනය, ජාතික ගැටළුව විසඳා ගැනීම සඳහා ඇතිකර ගත් පළමු සාර්ථක පියවර බවයි ඔහු කියා සිටියේ. 

ඒ, ඉන්දියාවේ ‘‘ ද හින්දු’’ පුවත්පත සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එම සාකච්ඡාව පැවැත්වුණේ ඉන්දු - ලංකා ගිවිසුමට වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්. 

ගිවිසුම අත්සන් කිරීමට සක‍්‍රීයව දායක වූ අයෙකු ලෙසටයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සැලකෙන්නේ. 

එම ගිවිසුම අත්සන් කිරීමට පෙර පැවති තීරණාත්මක සාකච්ඡා වට ගණනාවකට සිය දායකත්වය ලබාදීමට හැකි වූ බවයි ආර් සම්බන්ධන් විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. 

1983 වසරේ සිට 87 වසර දක්වා කාලය තුළ ඉන්දීය රජයේ ද මැදිහත් වීමෙන් ශ‍්‍රී ලංකා රජය හා ද්‍රවිඩ කණ්ඩායම් අතර සාකච්ඡා වට ගණනාවක් සිදු කෙරුණා. 

1986 වසරේ දී දින විස්සක සාකච්ඡා පැවති බවද ඔහු පවසනවා. 

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමේ දී ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ එක්සත් භාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ ජාතික ගැටළුවට ස්ථිර විසඳුමක් අත්‍යවශ්‍ය බවයි. 

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ මැදිහත්වීම සීමා කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

ආර්ථික හා උපාය මාර්ගික පමණක් නොව ජාතික ගැටළුවට විසඳුමක් සොයා ගැනීමේ දී ද ඉන්දියාව තවදුරටත් සහය දක්වනු ඇති බව ආර්. සම්බන්ධන් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.