Friday, April 26, 2024

General line - 0115112241

"අලි මුහුදු ගිය හේතුව මේකද?"




පසුගිය දින කිහිපයේ අවස්ථා දෙකක දී වනඅලින් තිදෙනෙකු මුහුදේ ගසාගෙන යාම ජාත්‍යන්තර වශයෙන් පවා පුවත් මැවූ සිද්ධියක් බවටයි පත්වුණේ.

මෙවැනි සිද්ධීන් වාර්තා වන්නේ කිසියම් පාරිසරික හේතුවක් මත හෝ ස්වභාවික විපතක පෙර නිමිත්තක් මතදැයි, මෙම සිද්ධිය පාදක කර ගනිමින් තැබූ ඇතැම් ෆේස්බුක් සටහන්වල දැක්වුණා.

ඉකුත් ජූලි 12 වැනිදා කෝකිලායි ප‍්‍රදේශයේ දී එක් වනඅලියෙකු සහ ඉකුත් 23 වැනිදා තවත් වන අලින් දෙදෙනෙකු මුහුදේ ගසාගෙන යමින් සිටිය දී නාවික හමුදාව විසින් බේරා ගැණුනා.

වනඅලින් මුහුදට යාම සිදු වන්නේ පවතින වියළි කාලගුණික තත්ත්වය නිසාදැයි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරාගෙන් විමසීමක් කළා.  

එහිදී ඔහු සඳහන් කළේ "සාමාන්‍යයෙන් අලින්ටත් මේ දිනවල පවතින දැඩි වියලි කාළගුණය තදින්ම දැනෙනවා ඇති. පිපාසය නිසා උන් ජලය සොයාගෙන යනවා. කොහොම වුණත් අලින්ටත් ලුණු අව්‍යශයි. යාල ඉන්න අලිත් පොළොවේ තියෙන ලුණු කනවා. මේ දිනවල වැඩිපුර දාහඩිය දාන නිසා අලිත් ලුණු කනවා ඇති. ඒ ගිහින් රැල්ලට හසු වෙලා පාලනය කරගන්න බැරිව මුහුදට යනවා කියලා තමයි දැනට කියන්න පුළුවන්." යනුවෙනි.

පවතින නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම වන සතුන්ද දැඩි පීඩාවකට පත්ව සිටිනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමක දී අනාවරණ වූයේ බොහෝ ප‍්‍රදේශවල සතා සිවුපාවුන්ට ආහාර සපයා ගැනීම හා බීමට ජලය සපයා ගැනීම පවා දැඩි ගැටළුවක් වී ඇති බවයි.

කොළ පැහැති තණකොල නොමැති වීම හේතුවෙන් ගවයින් දැඩි පීඩාවට පත්ව සිටින බව ප‍්‍රදේශ රැසකින්ම වාර්තා වුණා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරු පළාතටයි. මේ හේතුවෙන් කිරි ගොවීන් ගැටළු රැසකට මුහුණ පා ඇති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වන සතුන්ගේ පිපාසය නිවීම සඳහා බොහෝ වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජල බඳුන් තැබීමට කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ජලය සහ ආහාර සොයාගත නොහැකිව පීඩාවට පත්ව සිටින වන සතුන් මුහුණ පා ඇති තවත් දරුණු ගැටළුවක් වන්නේ දඩයක්කරුවන්ගේ ආක‍්‍රමණයි. පවතින තත්වය පාලනය කිරීම සඳහා ද ක‍්‍රියාමාර්ග රැසක් අනුගමනය කර ඇති බවයි  වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා සඳහන් කළේ. 

වන සතුන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ සහය ලබා ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.