Friday, April 19, 2024

General line - 0115112241

එල්.බී. ෆිනෑන්ස් වෙතින් කැපීපෙනෙන මූල්‍ය ප‍්‍රතිඵලයක් 




2017 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී කැපීපෙනෙන මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කිරීමට එල්.බී.ෆිනෑන්ස් සමාගම සමත් වී තිබෙනවා. 

සමාගමේ මුළු වත්කම් වටිනාකම රු. බිලියන 100 ඉක්මවා 2017 මාර්තු 31 වනවිට 102.8 ක් ලෙස වාර්තා වූයේ පෙර වසරට සාපේක්ෂව 21.6% ක වර්ධනයක් අත්පත් කරගනිමින්ය.

පසුගිය වසර 5ක කාලය තුළ සමස්ත වත්කම් වටිනාකම, පාරිභෝගික තැන්පතු, ණය සහ අත්තිකාරම් සම්බන්ධයෙන් පිළිවෙළ 19.2%, 17.3% සහ 19.6% ලෙස වාර්ෂික වර්ධනයක් අත්පත් කරගැනීමට සමාගම සමත් ව තිබෙනවා.

බදුවලට පෙර ලාභය රු. බිලියන 6.9 ක් වෙමින් 17% ක වර්ධනයක් පෙන්නුම් කළ අතර එය 2016/17 මූල්‍ය වර්ෂයේ බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ සමාගමක් වාර්තා කළ ඉහළම අගය වනවා.

ආදායම් බදුවලට පෙර ලාභය සමාගම් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. බිලියන 5.9 ක් ලෙස වාර්තා වූ නමුත් වැට් බදු ප‍්‍රතිශතය ඉහළ යාම නිසා වාර්ෂික වශයෙන් වාර්තා වූ වර්ධනය 10% ක් වනවා.

බදුවලට පසු ලාභය 5% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 3.9 ක් ලෙස වාර්තා වී තිබෙනවා. 

වත්කම් මත ප‍්‍රතිලාභය සහ ස්කන්ධය මත ප‍්‍රතිලාභය පිළිවෙළින් 4.2% ක් සහ 34.1% ක් ලෙස සතුටුදායක අගයන් වාර්තා කර ඇත.

පසුගිය මූල්‍ය වර්ෂය තුළ සමාගමට මුහුණ දීමට සිදුවූ බාහිර අභියෝග අනුව බලන කළ මෙම දත්ත ඉතාමත් සතුටුදායක මට්ටමක් පෙන්නුම් කරනු ලබන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

වැඩිවන පොලී අනුපාත, රථවාහන ආනයන බදු වෙනස් වීම සහ ණයදීම් සම්බන්ධයෙන් සීමා පනවනු ලැබීම වැනි සාධක මෙම තත්වයට බෙහෙවින් බලපෑ ඇත.

"මෙතරම් අභියෝග මැද පවා ඉතාමත් සතුටුදායක ප‍්‍රතිඵල පෙන්නුම් කරමින් ක්ෂේත‍්‍රයේ පෙරමුණේ රැඳී සිටීමට හැකිවීම, එල්. බී. ෆිනෑන්ස් සමාගමේ ශක්තියට හොඳ සාක්ෂියක්. පසුගීය වසර 46 පුරාවට අපගේ පාර්ශවකරුවන් අප කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය නිසා මෙවැනි මුල්‍යමය ස්ථාවරත්වයක් අත්පත් කරගනීමට අපට හැකියාව ලැබී තිබෙනවා."  යනුවෙන් එල්. බී. ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි පැවසුවා.

2017 මාර්තු 31 දින වනවිට, ප‍්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සම්බන්ධ අවම ව්‍යවස්ථාපිත සීමාව වන 10% ට සාපේක්ෂව 17.1% ක අනුපාතයක් වාර්තා කිරීමට සමාගම සමත් වී තිබෙනවා. 

මෙය තවත් තහවුරු කරමින්, මූල්‍යමය ගෙවීම් සම්බන්ධයෙන් වගකීම් ඉටුකර ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණවත් ශක්තියක් ඇති බව සනිටුහන් කරමින් ෆිච් රේටිංස් ලංකා සමාගම වෙතින A-(lka) ශ්‍රේණිය හිමිකරගැනීමටද එල්.බී. ෆිනෑන්ස් සමත් වී තිබෙනවා.

ඉහළම තලයේ ව්‍යාපාරික ආචාර ධර්ම, ආයතනික යහපාලන සහ අවදානම් කළමනාකරණ පරිචයන් පවත්වා ගනිමින් සිය පාර්ශ්වකරුවන් වෙත හිමිවන වටිනාකම් ඉහළ නැංවීම සඳහා එල්. බී. ෆිනෑන්ස් සමාගම කැපවී සිටී.

මූල්‍ය වාර්තාකරණයේදී පෙන්නුම් කළ විනිවිදභාවය, වගකීම් සහගත බව සහ ආයතනක යහපාලනය යනාදී ගුණාංග හේතුවෙන් ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සිය 52 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී එල්.බී. ෆිනෑන්ස් සමාගමේ 2015/16 මූල්‍ය වාර්තාවට ‘ඒකාබද්ධ වාර්තාකරණය - ප‍්‍රාග්ධන කළමනාකරණය සම්බන්ධ විශිෂ්ටතම අනාවරණය’ කාණ්ඩයේ රන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයක් පිරිනැමී ය.