Friday, April 19, 2024

General line - 0115112241

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වැඩබිම්වල කලු කොඩි - සයිටම් විරෝධී ජන පවුරේ සටන රට පුරා යයි




මාලඹේ සයිටම් ආයතනයට එරෙහි සයිටම් විරෝධී ජන පවුර සංවිධාන කරන ජාතික විරෝධතා මාලාව මේ වනවිට පැවැත්වෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වැඩබිම්වල අද (02) උදෑසන කලු කොඩි ප‍්‍රදර්ශනය කරමින් සයිටම් ආයතනයට විරෝධය පල කරනු දක්නට ලැබුණා.

ඇතැම් පිරිස් සේවයට වාර්තා කර තිබුණේ කලු පටි පැළඳගෙනයි. ඇතැම් ප‍්‍රදේශවල වෛද්‍යවරුන් රෝහල් සේවා සඳහා පැමිණ සිටියේ ද කලු පටි පැළඳගෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා.

විරෝධතා බැනර් ප‍්‍රදර්ශනය කිරීම ද රාජ්‍ය ආයතන රැසක දී අද උදෑසන සිදු කෙරුණා. කොළඹ ජාතික රෝහලේ ද මේ වනවිට මෙම විරෝධය ක‍්‍රියාත්මක වනවා.

අද දහවල් 12.00 ට ආරම්භ කෙරෙන විරෝධතා උද්ඝෝෂණ මාලාව සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කියා සිටියේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ සේවා සංගමය , සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය, රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය, ලංකා තැපැල් සේවා සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය හා ලංකා විදුලි සේවක සංගමය ද මෙම විරෝධයට සහය දක්වන වෘත්තීය සමිති අතරට අයත්.

දුම්රිය මූලස්ථානය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රාජගිරිය ආයුර්වේද රෝහල, වරාය අධිකාරිය, රජයේ මුද්‍රණාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව පන්නිපිටිය, රනාල, පිලියන්දල, රත්මලාන, නාවල, හෝමාගම, කැළණිය, කළුතර , මාතලේ හොරණ, දංකොටුව, වත්තල, බියගම සහ සපුගස්කන්ද යන ප‍්‍රදේශවල පිහිටි පෞද්ගලික ආයතනවල ද මෙම උද්ඝෝෂණ පැවැත්වීමටයි සංවිධාන කර ඇත්තේ.

එමෙන්ම ගම්පහ, රාගම, මීගමුව, යක්කල, ඇතුළු ප‍්‍රදේශ රැසක රෝහල් , දුම්රිය ස්ථාන හා රාජ්‍ය ආයතනවල ද විරෝධතා පැවැත්වෙනවා.

(සජීවි දර්ශන පහතින් දැක්වෙයි)