Tuesday, April 23, 2024

General line - 0115112241

අගමැතිට  පැළඳ වූ '28 වසරක' සමරු කොඩිය (PHOTOS)




ජාතික යොවුන් දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන යොවුන් කොඩි දින වැඩසටහන සංකේතවත් කරමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොවුන් කොඩිය පැළඳවීම අද (02) උදෑසන අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ විසින් යොවුන් කොඩිය  අගමැතිවරයා  වෙත මෙහිදී පළදවනු ලැබුවා. 


 

ජගත් තරුණ වර්ෂය වශයෙන් නම් කර තිබූ 1985 වසරේදී ජාතික යොවුන් කොඩි දිනය පළමු වරට ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

2011 සිට 2015 දක්වා එය ක්‍රියාත්මක නොවූ අතර නැවත වත්මන් රජය යටතේ 2016 වසරේ සිට ජාතික යොවුන් දින සැමරුම් වැඩසටහන් ක්‍රියාවට නැංවුණා.


 

ඒ අනුව මෙවර යොවුන් කොඩි දිනය ක්‍රියාත්මක වන්නේ 28 වන වරටයි.

දිවයින පුරා පිහිටුවා ඇති යෞවන සමාජ 13,000ක, යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල 334 ක හා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දිවයින පුරා මෙම කොඩි වැඩසටහන ක්‍රියාත්මක වනවා.


 

තරුණ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම මෙහි අරමුණ වන අතර යෞවන සමාජ විසින් හඳුනාගත් සුදුසු ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම්, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ අගමැති ජලිත අකරවිට, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් උපුල් සඳරුවන්, භාණ්ඩාගාරික රදික ජයලත්,පරිපාලන ලේකම් සහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී මහේෂ් තිලකරත්න යන පිරිසද එක්ව සිටියා.