Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාව හොඳ ආරම්භයක් ගනී (UPDATE)




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක‍්‍රීඩාංගණයේ දී දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය ඉන්දීය නායක විරාත් කෝලි දිනා ගත් අතර ඔහු පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු ඉණිම ක‍්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 101ක් ලබා සිටියා.

ලෝකේශ් රාහුල් නොදැවී ලකුණු 52යි. චෙටෙස්වර් පුජාරා නොදැවී ලකුණු 14ක් ලබා සිටිනවා.

ශිකර් ධවාන් ලකුණු 35කට දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වුණා.

ආබාධයට ලක් වූ අසේල ගුණරත්න වෙනුවට අද තරගය සඳහා ධනංජය ද සිල්වා ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා. අද තරගයේ දී තිස් හැවිරිදි මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.

ඔහු වාර්තා පොතට එක් වූයේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගත් 141 වන ක‍්‍රීඩකයා ලෙසයි.

 

----------------------------------------

ලෝක වාර්තා රැසක් තැබූ පිටියක අද 'ඉන්දීය - ශ්‍රී ලංකා' සටන ඇරඹෙයි

(2017/08/03 09:16)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය කොළඹ SSC ක‍්‍රීඩාංගණයේ දී අද (03) ආරම්භ වනවා.

අද තරගය පැවැත්වෙන කොළඹ SSC ක්‍රීඩාංගණය ලෝක වාර්තා රැසකට හිමිකම් කියන ක්‍රීඩාංගණයක්.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකාවට එරෙහිව  ඕනෑම කඩුල්ලක් සඳහා වන වැඩිම ලකුණු සබඳතාව 2006 වසරේ පිහිට වූයේද මෙම ක්‍රීඩාංගණයේදීයි.

මහේල ජයවර්ධන SSC පිටියේ ටෙස්ට් තරග 27කට එක්වෙමින් ලකුණු 2921 ක් රැස් කර ඇති අතර එයද සටහන් වන්නේ එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙසටයි.
2001 වසරේදී, 17 හැවිරිදි බංග්ලාදේශ ක්‍රීඩක මොහොමඩ් අෂ්රෆුල් ශ්‍රී ලංකාවට එරෙහිව SSC පිටියේදී ටෙස්ට් ශතකයක් වාර්තා කරන්නේ ලොව ලාබාලතම ටෙස්ට් ශතක ලාභියා බවට පත්වෙමින්.

ශ්‍රී ලංකාව කොළඹ SSC ක්‍රීඩාංගණයේදී මේ දක්වා ටෙස්ට් තරග 40කට සහභාගි වී තිබෙනවා.  ඉන් තරග 19ක් ශ්‍රී ලංකාව ජයගත් අතර තරග 7ක් පරාජයට පත් වුණා. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 14ක්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ SSC පිටියේදී මේ දක්වා ටෙස්ට් තරග 8ක් පවත්වා ඇති අතර ඉන් තරග දෙක බැගින් ජය ගැනීමට දෙපිලම සමත් වුණා. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 4ක්.

තරග 3කින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1ට බින්දුවක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි. ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස වර්තමානයේ වැජඹෙන ඉන්දීය කණ්ඩායමට අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේදී සටනක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව පවතිනවා.