Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියාවට මෑත ඉතිහාසයේ බරපතලම තහංචි පැනවෙයි - හොඳම මිතුරාත් කට අරී




මෑත ඉතිහාසයේ, ඕනෑම රටකට පනවන ලද බරපතළ ම තහංචි මාලාව උතුරු කොරියාවට පැණවීමට පියවර ගෙන තිබෙනවා. එරට මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිව ගෙන ආ නව සම්බාධක මාලාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

නව සම්බාධක සහිත යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් සියලුම රටවල් එකඟ වීම හේතුවෙන් එය ඒකඡන්දයෙන් සම්මත වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අනුව උතුරු කොරියාවේ අපනයන තහනම් කෙරෙන අතර එරට ආයෝජන සීමා කෙරෙනු ඇති.

මෙම අලුත් තහංචි පැනවීමෙන් මද වෙලාවකට පසුව චීනය කියා සිටියේ උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් නතර කළයුතු බවයි. චීනය සැලකෙන්නේ උතුරු කොරියාවේ ජාත්‍යන්තර මිත්‍රයා ලෙසිනි.

ජූලි මාසය තුළ බැලිස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ උතුරු කොරියාව කියා සිටියේ මේවනවිට ඇමරිකාවට පහර දිය හැකි මිසයිල තමන් සතු වන බවයි.

කෙසේ නමුත් එම ඉලක්කයට ළඟා විය හැකි මිසයිල උතුරු කොරියාව සතු වේදැයි යන්න සැක සහිත බවයි අවි විශේෂඥයෝ පෙන්වා දෙන්නේ.

චීනයට අපනයනය කෙරෙන ගල් අඟුරු සහ වෙනත් අමුද්‍රව්‍ය උතුරු කොරියාව සතු සීමිත ආදායම් මාර්ගවලින් එකක්.

සම්මත වූ නව සම්බාධක ගොන්න හේතුවෙන් උතුරු කොරියාවට ඩොලර් බිලියනයක් පාඩුවක් සිදුවනු ඇති බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් ව තිබෙනවා.

කෙසේ නමුත් උතුරු කොරියාව සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට තමන් අදහස් කරන බවද දකුණු කොරියාව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ප්‍රථමයෙන් දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා හමු වෙනු ඇති.