Thursday, March 28, 2024

General line - 0115112241

රවී පිළිබඳ ප්‍රශ්නගත සිද්ධියේ කීර්තිය කාටද?




අද කැඳවා තිබූ මාධ්‍යහමු කිහිපයක දී  අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සහ ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවට අදාළව ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

එවැනි එක් මාධ්‍ය හමුවක දී අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් දැන් මතු වී තිබෙන සංවාදයට පාදක වූයේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ස්වාධීන කොමිසන් සභාව බවයි.

මෙම කොමිසන් සභාව යහපාලනයේ තවත් එක් නිරූපණයක් බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පැවසුවේ අමාත්‍ය රවී කරුණානායක පිළිබඳ සත්‍ය රටට හෙළි වූයේ යහපාලනය නිසා නොව ඒකාබද්ධ විපක්ෂය සිදු කළ අරගලය නිසා බවයි.

පිවිතුරු හෙළ උරුමය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පැවසුවේ හොරුන්ට දඬුවම් දීම මෙම ආණ්ඩුවෙන් අපේක්ෂා කළ නොහැකි බවයි. හොරුන්ට දඬුවම් දීමට අවශ්‍ය නම් ආණ්ඩු බලය ජනතා විමුක්ති පෙරමුණට ලැබිය යුතු බව ද මන්ත‍්‍රීවරයා පැවසුවා.  

අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒම සදාචාරාත්මක නොවන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

මෙම විශ්වාසභංග යෝජනාව මගින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සිදු කළ සොරකම් වසා දැමීමට ද නොහැකි බවයි විජිත හේරත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේ දී අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ද ඡන්දය ප‍්‍රකාශ කරන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියා.

පළාත් පාලන ඡන්ද විමසීම් සහ පළාත් සභා ඡන්ද විමසීම් කල් දැමුවා සේ මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම ද කල් නොදමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කරන බවයි ඔහු පැවසුවේ.