Saturday, April 20, 2024

General line - 0115112241

විසි පන්දහසේ දඩයට මහින්දගේත් විරෝධය 




රථ වාහන දඩය ඉහළ නැංවීම හේතුවෙන් ඇතැම් පාර්ශවයන්ට අසාධාරණයක් සිදු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ ත්‍රී රෝද රථ හිමිකරුවන් වැනි පිරිස්වලට මෙම දඩය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වන බවයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මේ අතර රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ යෝජනාවට යතුරුපැදිකරුවන් විරෝධය පළ කරනවා. 

ඔවුන් කියා සිටියේ එම දඩය කිසිසේත්ම සාධාරණ නොවන බවයි. ඊට හේතු කවරේදැයි සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් ශිරන්ත අමරසිංහගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

මෙම තීරණයට එරෙහිව විරෝධතා සිදු කරන බවයි මෙහි දී අවධාරණය කෙරුණේ. 

රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ. 

වලංගු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, එවැනි බලපත්‍රයක් නොමැති අයෙකු රිය ධාවනය සඳහා සේවයේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, දුම්රිය මාර්ගවලට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම සහ වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය එම දඩයට යටත් වැරදි කිහිපයක්.  

වමෙන් ඉස්සර කිරීම සහ ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනය යන වැරදි සඳහා යෝජිත දඩය රුපියල් 2,000ක්. 

නොසැලකිලිමත්ව රිය ධාවනය සඳහා දඩය රුපියල 10,000 දක්වා වැඩි කිරීමට ද යෝජිතයි. නියමිත වයසට අඩු තැනැත්තන් රිය පැදවීම සඳහා වන අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කරනු ඇති. 

අදාළ දඬුවම, පනතේ ප්‍රකාශිතව දක්වා නොමැති වැරදි සඳහා අවම දඩය රුපියල් 2,500 දක්වා වැඩි කිරීමට ද නියමිතයි.