Friday, April 19, 2024

General line - 0115112241

මීගමුවේදී STF එකට වෙඩි තබා මට්ටු වුණ කොල්ලකරුවන්ගේ නම්ගම් හෙළිවෙයි




මීගමුව - කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර ඊයේ (12) ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු අත්අඩංගුවට පත් සැකකරුවන් පිළිබඳව අනන්‍යතාව මේ වන විට හෙළිකරගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර එක් අයෙක් සේවය හැර ගිය නාවික සෙබලෙක්.

මෙලසෙ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ කිරිනක්තුඩුව බියගම පදිංචි පතිරණ චම්පික කුමාර ජයතුංග (රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි), වයස අවුරුදු 41 ක් වූ සීදුව පදිංචි රන්හොට්ගෙදර වජිර කුමාර (කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි), වයස අවුරුදු 40 ක් වූ තෙල්දෙණියේ පදිංචි සේවය අතහැර ගිය නාවික හමුදා සෙබළෙකු වූ වෙදමාදගෙදර ජනක අරුණ ශාන්ත, වයස අවුරුදු 31 ක් වූ රාගම පදිංචි අලවත්ත කංකානම්ලාගේ තරිඳු මදූෂ නැමැති සිව්දෙනෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකායට කොල්ලකරුවන් පිරිසක් වෑන් රථයකින් මීගමුව දෙසට ගමන් කරන බවට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ලුහුබැඳ ගිය පොලිස් විශේෂ කාර්ය බලකාය, වෑන් රථය හරස් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමග ඔවුන් වෙඩි තබා තිබුණා.

ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් ද වෙඩි තබා ඇති බවයි වැඩි දුරටත් අනාවරණය වූණේ.

වෑන් රථයේ තිබී අවි ආයුධ තොගයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.