Friday, April 19, 2024

General line - 0115112241

වැඩි කෙරෙන දඩ මුදල් ගැන ප්‍රතිචාර දක්වන්න බස් හිමියන් සැරසෙයි




රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද (13) පස්වරුවේ ප්‍රකාශ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

බස් රථ සඳහා වෙනම මංතීරුවක් ලබාදීමේ යෝජනාව සම්බන්ධයෙන් ද අද පස්වරුවේ සිය ස්ථාවරය ප්‍රකාශ කරන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.


කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල යෝජනාවට අනුව රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට නියමිතයි.

වලංගු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, එවැනි බලපත්‍රයක් නොමැති අයෙකු රිය ධාවනය සඳහා සේවයේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, දුම්රිය මාර්ගවලට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම සහ වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය අදාළ වැරදි අතරට අයත්.

මීට අමතරව තවත් වැරදි කිහිපයක් සඳහා ද දඩ මුදල් විවිධ ප්‍රමාණවලින් වැඩි කිරීමටයි කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙන්නේ.

වමෙන් ඉස්සර කිරීම සහ ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනය යන වැරදිවලට රුපියල් 2,000ක දඩයක් නියම කිරීමට එයින් යෝජිතයි.

නොසැලකිලිමත්ව රිය ධාවනය සඳහා දඩය රුපියල 10,000 දක්වා වැඩි කිරීමට ද, නියමිත වයසට අඩු තැනැත්තන් රිය පැදවීම සඳහා අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කිරීමට ද යෝජිතව තිබෙනවා.

මීට අමතරව අදාළ දඬුවම, පනතේ ප්‍රකාශිතව දක්වා නොමැති වැරදි සඳහා අවම දඩය රුපියල් 2,500 දක්වා වැඩි කිරීමට ද යෝජිතයි.