Saturday, April 20, 2024

General line - 0115112241

අදත් තද වැසි




දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද (20) දිනයේදී වැසි සමග තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් සඳහන් කරන්නේ දිවයින හරහා විශේෂයෙන් වයඹ, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල   තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනු ඇති. බස්නාහිර සහ වයඹ පළාත්වල සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වෙන බවද පැහැදිළි කළා.
 
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට තරමක තද වැසි ද බලාපොරොත්තු විය හැකි බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ.

මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවලද වැසි ඇතිවීමේ අවධානමක් පවතිනවා. හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශයේ සුළඟේ වේගයද ඉහළ යා හැකියි.

එය විටෙක පැයට කිලෝ මීටර 70 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

මේ අතර අද අළුයම දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තද සුළං තත්ත්වයක් පැවතුණා.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අධික වැසි ලැබීමත් සමග විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවකින් සිදු වන බවයි.