Wednesday, April 24, 2024

General line - 0115112241

ප‍්‍රභාකරන් සමග තවත් කාලයක් ගත කිරීමට නොහැකි වීම ගැන කණගාටුයි - එරික් සෝල්හයිම් කියන දේ




මෙරට පැවති යුද සමයේ දී වැඩි වශයෙන් කථා බහට ලක් වූ පුද්ගලයෙකු වන නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් ශ‍්‍රී ලංකාව හා යුද්ධය පිළිබඳ යළි අදහස් පළ කර තිබෙනවා. 

ඒ, විදෙස් මාධ්‍ය සමග පැවති සම්මුක සාකච්ඡාවකදී. එහි දී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධයේ දී  පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීමට තමාට කිසිදු හේතුවක් නොතිබූ බවයි. 

කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ හිටපු නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමග තවත් කාලයක් ගත කිරීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු වන බවයි එරික් සෝල්හයිම් පවසා ඇත්තේ. 

එසේ කිරීමට හැකියාවක් ලැබුණා නම් ප‍්‍රභාකරන්ගේ ආකල්ප වෙනස් කර කිසියම් බලපෑමක් සිදු කිරීමට තමාට හැකියාව තිබූ බව ඔහු මෙහි දී සඳහන් කර තිබෙනවා. 

ප‍්‍රභාකරන් සමග තමාගේ විශේෂ සම්බන්ධතාවක් පැවති බව එරික් සෝල්හයිම් මෙම සාකච්ඡාවේ දී පිළිගෙන තිබීම ද විශේෂත්වයක්. 

එල්.ටී.ටී.ඊ සංවිධානය ළමා සොල්දාදුවන් භාවිත කළ බවත්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා යුද අපරාධ සිදු කළ බවත් ඔහු මෙහි දී ප‍්‍රකාශ කර තිබෙනවා. යුද්ධයෙන් දකුණේ තරුණයින් ද දහස් ගණනක් මිය ගියා. 

තමා ද මැදිහත් වූ සාම මෙහෙවර අසාර්ථක වීම හා එලෙස ශ‍්‍රී ලාංකිකයින් මිය යාම ගැන කණස්සල්ලට පත්වන බවයි එරික් සෝල්හයිම් පවසා ඇත්තේ.

යුරෝපා රටවල එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට වැඩි අනුකම්පාවක් හිමි වී ඇත්තේ මෙම කලාපය පිළිබඳ එම රටවලට අවබෝධයක් නොමැති වීම නිසා බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.