Thursday, April 25, 2024

General line - 0115112241

හැටන් සහ මහනුවර දී ශිෂ්‍යත්ව විභාගයටත් බාධා




පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දී ඇති වූ ගැටළු කිහිපයක් පිළිබඳ මහනුවරින් සහ හැටන් යන ප‍්‍රදේශවලින් තොරතුරු වාර්තා වනවා. 

ප‍්‍රශ්න පත‍්‍රය නියමිත වේලාවට පෙර එකතු කිරීමේ සිද්ධියක් වාර්තා වුණේ මහනුවරින්. වත්තේගම අධ්‍යාපන කලාපයේ ජම්බුගහපිටිය පරණගම මහා විද්‍යාලයේ පැවති විභාග ශාලාවේ දී එය සිදුව තිබෙනවා. 

විභාගයට මුහුණ දුන් සිසුන් මෙන්ම දෙමාපියන් ද කියා සිටියේ විභාග ශාලාව භාරව සිටි නිලධාරීන් නියමිත කාලයට විනාඩි 15කට පෙර ප‍්‍රශ්න පත‍්‍රය එකතු කර ඇති බවයි. 

තමන්ට ප‍්‍රශ්න පත‍්‍රය ලබා දුන්නේ ද ප‍්‍රමාද වී බවයි සිසුන් ප‍්‍රකාශ කළේ. මේ පිළිබඳ තොරතුරු විමසීමට විභාග ශාලාවේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුව ද එය ද සාර්ථක වූයේ නැහැ. 

මේ අතර ආගමික මධ්‍යස්ථානයක දේව මෙහෙයක් සඳහා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කිරීම හේතුවෙන් ශිෂ්‍යත්වයට සහභාගි වූ සිසුන්ට බාධා වූ පුවතක් ද හැටන් ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. 

හැටන් නගරයේ ප‍්‍රධාන පාසලකට යාබදව පිහිටි එම දේවස්ථානයේ දේව මෙහෙය ආරම්භ වී ඇත්තේ පෙරවරු 9.00ට පමණයි. 

පසුව විභාග ශාලාවෙන් පිටත රැඳී සිටි දෙමාපියන් ඒ පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව , ක‍්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරීන් ශබ්ද විකාශන යන්ත‍්‍ර නතර කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.