Tuesday, April 23, 2024

General line - 0115112241

මම නම් යන්නේ නැහැ - ලාහෝර් ප්‍රහාරයෙන් බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයා කට අරියි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ ලාහෝර් නුවරදී එල්ල වූ ප්‍රහාරය අවස්ථාවේ හටගත් මානසික තැති ගැනීම කිසි දිනෙක පහව නොයනු ඇති බව ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තිලාන් සමරවීර පවසනවා.

එබැවින් මේ වනවිට කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේ නම් තමන් යළිත් වරක් පාකිස්තානයේ සංචාරය නොකරන බවයි ඔහු තරයේ ප්‍රකාශ කර සිටියේ.

මෑත කාලීනව බංග්ලාදේශයේ පුහුණුකරුවෙකු ලෙස සේවය කළ තිලාන් සමරවීර බීබීසී සමග සාකච්ඡාවකට ඒක් වෙමින් මේ බව පවසා තිබෙනවා.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වතාවට පාකිස්තානයේ අන්තර්ජාතික ක්‍රිකට් තරග මාලාවක් පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු පසුගියදා සනාථ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් තිලාන් සමරවීර මේ බව පවසා තිබෙනවා.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරය කළ අවස්ථාවේ එල්ල වූ ප්‍රහාරයේදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයා වන තිලාන් සමරවීරගේ පාදයෙන් මූනිස්සමක් ඉවත්කිරීම සඳහා සැත්කමක් ද සිදු කළා.

සැත්කමෙන් මාස හතරකට පසුව ඔහු ක්‍රීඩාකිරීම සඳහා පූර්ණ සුවය ලැබූ නමුත් ප්‍රහාරයෙන් ඇති වූ මානසික තැති ගැනීමෙන් සුවය ලැබීම දුෂ්කරම කටයුත්ත බවයි ඔහු පවසා ඇත්තේ.

කෙසේවෙතත් මෙම සංචාරය සඳහා එක්වීමට කවුරුන් හෝ අකමැති නම් ඔහුගේ කැමැත්තට ඉඩ දිය යුතු බවද පෙන්වා දී තිබෙනවා.

වෙඩි ප්‍රහාර එල්ලවෙන අතරවාරයේම බස් රථය ගඩාෆි ක්‍රීඩාංගණය වෙත පදවාගෙන යමින් බස් රථයේ රියදුරා තමන් ඇතුලු සියලු දෙනාගේ ජීවිත බේරාගත් බව ද තිලාන් සමරවීර මෙහිදී සිහිපත් කළා.