Friday, April 19, 2024

General line - 0115112241

ජනපති සුසිල් ගැන සුදුසු තීරණයක් ගනී - එජාපයෙන් පිළිතුරු




අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා හම්බන්තොට වරාය ගණුදෙනුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කිරීම නිසා ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරන්නේ විනය ගරුක සාමාජිකයින් බවයි. එමෙන්ම පූර්ණ නිදහස ඇති පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය සිදු කරන සෑම ක‍්‍රියාවක්ම සිදු කිරීමට සිය පක්ෂය සූදානම් නොමැති බවයි මෙහි දී වැඩිදුරටක් ප‍්‍රකාශ කෙරුණේ.

සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂය දරන මතය පිළිබඳව ද නෙත් නිවුස් විමසා බැලුවා. ඔහු පිළිබඳ ජනාධිපතිවරයා සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසුවේ.

හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා සිදුකළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමක් බවටයි  විජයදාස රාජපක්ෂට චෝදනා එල්ල වී තිබු‍ණේ. ඒ අනුව ඔහුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම දක්වා එම කරුණ දුරදිග ගියා.