Thursday, March 28, 2024

General line - 0115112241

අලුත් බදු පනත අනුව රට ගිය ලාංකිකයන්ට වෙන දේ




අලුත් බදු පනත යටතේ විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින් මුදල් ලංකාවට එවීමේදී බදු අය නොකරන බවත් එසේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් බදු අය කිරීමට කිසිසේත්ම අවස්ථාව ලබා නොදෙන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ශ්‍රමික සුරැකුම ජංගම සේවය අම්පාර අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මෙසේ පැවසුවා,

විදේශගත ශ්‍රමිකයින්ගේ ගැටළුවලට විසදුම් ලබාදීම සදහා ක්‍රියාත්මක කරමින් තිබෙන “ශ්‍රමික සුරැකුම“ ජංගම සේවාව මේ වන විට අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර අම්පාර දිස්ත්‍රික්කයේත් ක්‍රියාත්මක කරනවා. අපේ ආණ්ඩුවේ දෙවසරක් සම්පූර්ණවී අලුත් තෙවසරක් ආරම්භවීම නිමිත්තෙන්  ජංගම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කොළඹට ඇවිත් ප්‍රශ්ණ විසඳා ගැනීමට නොහැකි විදේශගත ශ්‍රමිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ගැටළු විසදීම තමයි අපේ අරමුණ වන්නේ.

ගෘහ සේවය වගේ රැකියා සදහා විදේශගත වීම නිසා විදේශගතවන අයටත් ඔවුන්ගේ පවුල්වල අයටත් මුහුණදීමට සිදුවෙනවා. කාන්තාවන් විදේශවල සිට එවන මුදල් ස්වාමිපුරුෂයන් නිසි ආකාරයෙන් වියදම් කරන්නේ නැහැ. නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙනවා.  දරුවන්ට දෙමාපියන්ගේ පිහිට අවශ්‍ය කාලයේදී ඔවුන්ට එම පිහිට නොලැබී යනවා.

විදේශගත ශ්‍රමිකයින්ගෙන් වසරකට බිලියන අටකට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් වගේම ඔවුන්ගේ පවුල් සංස්ථාවේ ආරක්ෂාව ගැනත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ නිසා තමයි විදේශගතවන අවස්ථාවේදී නීති රීති රාශියක් පනවා තිබෙන්නේ. 

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, පවුල් සංස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන් මේ නීති රීති පනවා තිබෙනවා. මේ නීති රීති උල්ලංඝනය කරමින් නීති විරෝධි ආකාරයෙන් විදේශගත වීමට කිසිදු අයෙක්ට ධෛර්යය සපයන්න එපා. ඔවුන්ට උදව් උපකාර කරන්න එපා. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත වන විට ප්‍රතිලාභ රාශියක් හිමිවෙනවා. විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවස්ථාව, රක්ෂණාවරණ, ළමුන්ට ශිෂ්‍යත්ව හා ස්වයං රැකියා සඳහා ආධාර ලැබෙනවා. ලියාපදිංචි නොවී විදේශගත වන අයට මේ ප්‍රතිලාභ හිමිවන්නේ නෑ. 

අලුත් දේශීය ආදායම් බදු පනත යටතේ විදේශගත ශ්‍රමිකයින් ලංකාවට එවන මුදල් සඳහා බදු අය කරන බවට පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. මේ පනත ගැන විවිධ අදහස් මතු වී තිබෙනවා. විදේශගත ශ්‍රමිකයින් තමන් උපයන මුදල් ලංකාවට එවීමේදී අලුත් බදු පනත යටතේ කිසිදු බද්දක් අය නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. එසේ විදේශගත ශ්‍රමිකයින් මුදල් එවීමේදී බද්දක් අය කිරීමට නීති ගෙන ඒමට ඉඩ නොදන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. 

කිසියම් පුද්ගලයෙක් විදේශගතවී මාස හයක් යන විට ඔහුගේ පවුලට ලැබෙන සමෘද්ධි සහනාධාරය නැතිවෙනවා. මේ ගැනත් අපේ අවධානය යොමු කර තිබෙනවා. කිසියම් අයෙක් විදේශගතවූ පමණින් ඔවුන්ගේ පවුලට ලැබෙන සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. 

විදේශගත ශ්‍රමිකයින් විදේශගතවී ලංකාවට ගුවන්තොටුපල හරහා පැමිණෙන විට තීරු බදු රහිතව භාණ්ඩ මිලදීගැනීමට අවස්ථාව තිබෙනවා. මෙසේ තීරු බදු රහිතව මිලදී ගැනීමට හැකි භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකම ඉහළ දැමීම ගැනත් අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ ඉල්ලීම ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන එන මුදල් සඳහා අපි ඉහළ වටිනාකමක් දෙනවා. ඒ මුදල් රටේ සංවර්ධනයට වැදගත් වන බව අපි සිහිපත් කරන්නේ විදේශගත ශ්‍රමිකයින් කෙරෙහි දැඩි ගෞරවයකින් යුතුවයි.