Thursday, April 25, 2024

General line - 0115112241

"වසර හතරක් ගත වනවා " -  ඉවත්වීම ගැන කතා කළ විට ක්‍රිකට් සභාපති තිලංග දුන්න උත්තරේ 




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට  සිය පරිපාලනයට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බවයි ඔහු  අවධාරණය කරන්නේ.

ඔහු  ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනුයි.


ඉක්මනින් අර්බුදයට විසඳුම් දිය නොහැකි නම් ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ දැයි විමසූ අවස්ථාවේ, "එතකොට මේක කරන්න යන්නේ කවුද?" යනුවෙන් තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවය වෙත ප්‍රති ප්‍රශ්නයක් යොමු කරනු ලැබුවා.


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස දිගු කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව පවසන සභාපතිවරයා, එහි සම්පූර්ණ ප්‍රතිඵල ලැබීම පිණිස වසර හතරක පමණ කාලයක් ගතවනු ඇති බව ද එහිදී සඳහන් කර තිබෙනවා.