Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව මව්බිමේ ලද විශාලම පරාජය සමග ලෝක කුසලානය ගැනත් අවධානමක්!




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 04 වන තරගය ද පහසුවෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී ලකුණු 375යි. ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 207කට සියලූ දෙනා දැවී ගියා.

ඉන්දීය ඉණිමේ වඩාත් කැපී පෙනෙන පිතිකරුවන් වූයේ විරාට් කෝලි සහ රෝහිත් ශර්මායි. විරාට් කෝලි ලකුණු 131ක් ලබා ගත්තා. රෝහිත් ශර්මා ලකුණු 104යි. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් වඩාත් කැපී පෙනෙන ඉණිම ක‍්‍රීඩා කළා. ඒ පන්දු 80ක දී ලකුණු 70ක් ලබා ගනිමින්. පන්දු යැවීමේදී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 24කට කඩුලූ 02ක් දවා ගත්තා. 

මේ අතර මෙම තරගයේ දී ශ‍්‍රී ලංකාව ලද පරාජය ශ‍්‍රී ලංකා කණ්ඩායමක්  මව්බිමේ පැවති එක්දින තරගයක දී ලද විශාලතම පරාජයයි. මීට පෙර 2009 වසරේ දී කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවති තරගයක දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේම ලකුණු 147ක පරාජයක් ලබා තිබුණා. එහෙත් ඊයේ පැවති තරගය ශ‍්‍රී ලංකාව පරාජය වූයේ ලකුණු 168කින්. 

මෙම පරාජයත් සමග 2019 ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථාව ද තවදුරටත් සීමා වනවා. වත්මන් සැකැස්ම අනුව ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියකට නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ සත්කාරක රට සහ තෝරාගන්නා අවස්ථාවේදී එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින සෙසු කණ්ඩායම් 07යි. දැන් එම අවස්ථාව ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සමග පැවැත්වෙන මීළග තරගය අනිවාර්යෙන් ජයගත යුතු වනවා මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන් සහභාගී වන මීළග එක්දින තරගාවලියේ දී එක් තරගයක් හෝ පරාජය විය යුතු බව විචාරකයින් පෙන්වා දෙනවා.