Saturday, April 20, 2024

General line - 0115112241

අයථා ක‍්‍රම මගින් මුදල් එකතු කරන්නන් ගැන ඔබත් දැනුවත් වෙන්න




වාහනයේ ඉන්ධන අවසන් වී ඇති බව පවසමින් ඉන්ධන ලබා ගැනීමට යැයි අන්‍යයන් පීඩාවට පත්වන අයුරින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් පිළිබඳ නෙත් නිවුස් ඉකුත්දා අනාවරණයක් කළා.

වයිබර් තාක්ෂණයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ බොහෝ පිරිසක් ද කියා සිටියේ එවැනි අත්දැකීම්වලට ඔවුන් ද මුහුණදී ඇති බවයි. 

ඒ අනුව මෙම ජාවාරම පිළිබඳ නෙත් නිවුස් පොලිසියට ද දැනුම් දුන්නා. පසුව කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ කෙනෙකු පීඩාවට පත්වන අයුරින් මුදල් ඉල්ලා සිටීම නීතියට අනුව වරදක් බවයි.

එලෙස මුදල් ඉල්ලා සිටින තැනැත්තන්ට එරෙහිව අයාල ආඥා පනත, පොලිස් ආඥා පනත හෝ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් පැමිණවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

එම පනත් යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ද හැකියාව තිබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව කිසියම් තැනැත්තෙකු අයථා ක‍්‍රම මගින් මුදල් එකතු කරන බවට සැකයක් ඇති වුවහොත් ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නැයි ඉල්ලීමක් ද කෙරුණා.

119 හදිසි ඇමතුම් අංකයට ඇමතීමෙන්, ළඟම ඇති පොලිසියට ඇමතීමෙන් හෝ මහමග රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට දැනුම් දීමෙන් එවැනි පැමිණිලි කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැහැදිලි කළේ. 

මේ අතර නව මාදිලියේ මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම නිසා පීඩාවට පත් පිරිස් තවදුරටත් නෙත් නිවුස් වෙත සිය අත්දැකීම් දැනුම් දෙමින් සිටිනවා. 

ප‍්‍රවෘත්තිමය වටිනාකමක් ඇතැයි හැඟී යන තොරතුරු වයිබර් තාක්ෂණයෙන් නෙත් නිවුස් වෙත දැනුම් දීමට ඔබට ද හැකියාව තිබෙනවා. එවැනි තොරතුරු 077 902 18 24 අංකයට වයිබර් කළ හැකියි.