Saturday, April 20, 2024

General line - 0115112241

"අප‍ේ ඉවසීමේ සීමාව පරික්ෂාවට ලක්කරන්න එපා" අමෙරිකාව උතුරු කොරියාවට කියයි




උතුරු කොරියානු නායක කිම් ජොං අන් යුද්ධයක් අයද සිටින බව ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා.

කොතරම් ඉවසීමෙන් තමන් කටයුතු කළත් උතුරු කොරියාව යුද්ධයක් අපේක්ෂා කරමින් සිටින බවයි අමෙරිකාව පෙන්වා දී ඇත්තේ.

උතුරු කොරියාව මෙතෙක් සිදුකළ ප්‍රබලතම න්‍යෂ්ටික පිපිරවීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් ඊයේ කැඳවා තිබුණා.

එහිදී ජගත් සංවිධානයේ ඇමරිකානු නියෝජිතවරිය වන නිකී හාලේ කියා සිටියේ අමෙරිකාව කුමන අවස්ථාවක හෝ යුද්ධයක් අපේක්ෂා නොකරන  බවයි.

නමුත් තමන්ගේ ඉවසීම සීමාරහිත නොවන බව ද ඇය මෙහිදී අවධාරණය කළා.

උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ද අමෙරිකාව යෝජනා කර තිබෙනවා. 

එහෙත් උතුරු කොරියාවේ සමීපතමයා වන චීනය කියා සිටියේ අර්බුදය විසඳාගැනීම සඳහා යළි රාජ්‍යතාන්ත්‍රික මාර්ග විවෘත කළ යුතු බවයි.

උතුරු කොරියාව විසින් ඉරිදා සිදුකළ න්‍යෂ්ටික පිපිරවීම කිලෝ ටොන් 50 ත්, 120 ත් අතර සීමාවේ පවතින බව ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දුන්නා.

මේ අතර යුද්ධයක් ඇතිවීමේ අවධානමක් පවතින්නේ නම් දකුණු කොරියාවේ ජීවත්වන ජපාන ජාතිකයින් ඉවත් කරගැනීමේ සැලසුමක් ජපානය විසින් සකස් කරන ඇති බව වාර්තා වනවා.

දැනට උතුරු කොරියාවේ සංචාරය කරන ජපාන ජාතිකයින්ගේ සංඛ්‍යාව  60,000 ක් පමණ වන බවයි ජපාන වාර්තා කියා සිටියේ.