Thursday, March 28, 2024

General line - 0115112241

පළමු අනතුරෙන් තුවාල ලබා දෙවන අනතුරෙන් මරුට (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ එකවර සිදු වූ රිය අනතුරු දෙකකට හසු වූ කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා. අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල බුලාගල පදිංචි ශියානි මංගලිකා නැමැති 50 හැවිරිදි එක් දරු මවක්. රිය අනතුරෙන් මියගිය කාන්තාව සිය සහෝදරිය සමග බුලාගල ප්‍රදේශයට පැමිණ ඇත්තේ නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන සිය දියණිය නිවසට කැඳවාගෙන යෑම සඳහායි.

පිරිස බුලාගල මාර්ගය හරහා පාර මාරුවෙමින් සිටියදී වේගයෙන් පැමිණි යතුරුපැදියක් මෙම කාන්තාව ඇතුළු පිරිසගේ ගැටී තිබෙනවා.

එහිදී මෙම කාන්තාව මාර්ගය මැද වැටී සිටියදී ඒ අසල පිහිටි වෙළෙඳසැලක හිමිකරුවෙකු සහ මියගිය කාන්තාවගේ සහෝදරිය කාන්තාව එසවීමට සූදානම් වෙද්දී යළිත් වරක් දඹුල්ල දෙසින් වේගයෙන් ධාවනය වූ ජිප් රථයක් මෙම පිරිස යටකරගෙන ගොස් තිබෙනවා.

එහිදී මෙම කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර ඇයට උදව් කරමින් සිටි ඇයගේ සහෝදරිය සහ වෙළඳසැල් හිමිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දඹුල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.