Saturday, April 20, 2024

General line - 0115112241

ජල ටැංකියක් අසල බිළිඳෙකු දමායයි (PHOTOS)

පර්සි කුරුනේරු




තරුණ කාන්තාවක් විසින් දින එකොළහක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු සුදු රෙද්දකින් ඔතා අනුරාධපුර පුලියන්කුලම පිහිටි ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර  ඒකක භුමියේ ජල ටැංකියක් අසල දමා ගොස් තිබියදී අද (12) දවල් අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත භාර දී තිබෙනවා. 

එම ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ නිලධාරීන් විසින් ඒ බව අනුරාධපුර පොලිසිය වෙත කරන ලද දැනුම් දීමකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් දරුවා භාර ගෙන තිබුණා. 

එම දරුවාගේ මව ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය අසල නිවසක මාස දෙකක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිට ඇති අතර ඇය විසින් මීට දින එකොළහකට පමණ පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරුවා ප්‍රසුත කොට ඇති බව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්තානාධිපතිනි පී.වයි. කාන්තිගේ මෙහෙයවීමෙන් සිදු කළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 

නමින් නිසංසලා වන තමන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක ලෙස අධ්‍යාපනය හදාරන බවත් දරුවාගේ මව විසින් ඇය කුලියට සිටි නිවසේ හිම්කාරියට පවසා තිබෙනවා. 

ඇගේ ජංගම දුරකථන අංකය හැරුණු විට වෙනත් කිසිඳු තොරතුරක් තමන් නොදන්නා බව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී  නිවසේ හිමිකාරිය පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා. 

අනතුරුව පොලිසිය විසින් දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නොමේරු ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.
 
එම දරුවා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ නිරෝගී සුවයෙන් පසු වන බව එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ. 

මේ අතර මේ පිළිබඳව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට අධිකරණ නියෝගයක් ලබා ගෙන දුරකථන විශ්ලේෂන වාර්තාවක් මගින්  දරුවාගේ මව නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකාරියගෙන් ලද දුරකථන අංකය ඔස්සේ  දුරකථනයේ හිමිකාරීත්වය තහවුරු කර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. 

ඒ ඔස්සේ දරුවාගේ මව හඳුනාගැනීමට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.