Thursday, March 28, 2024

General line - 0115112241

විදුලිබලේ අද වැඩවර්ජනයක




ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් අද (13) වැඩවර්ජනයක් ආරම්භ කරනවා.

මෙම වැඩවර්ජනය කැඳවා තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින්.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ වැටුප් විශමතාව ඉවත් කිරීම, විදුලිබල මණ්ඩල සේවකයින්ගේ අර්ථ සාධක අරමුදලේ අස්ථානගත වී ඇති අරමුදල් සම්බන්ධයෙන් සහ ජනතාවට තවත් වැඩි කිරීමට යන විදුලි බිල සම්බන්ධයෙන් විරෝධය දක්වමින් මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන වැටුප් ගැටළු විසඳාලීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙන බවයි. 

අද ආරම්භ කෙරෙන වැඩවර්ජනය නිසා විදුලි පාරිභෝගිකයන් පීඩාවට පත්වීමට ඉඩ නොදෙන බවද සුලක්‍ෂණ ජයවර්ධන මෙහිදී කියාසිටියා.

විශේෂයෙන්ම විදුලි බිඳවැටීම් ඇති නොවීමට සහ විදුලි බිඳවැටීම් සිදුවුවහොත් ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ. 

පාරිභෝගිකයන්ට සිදුවිය හැකි පීඩා පිළිබඳව නෙත් නිවුස් වැඩවර්ජනය කැඳවා ඇති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයෙන්ද විමසීමක් කළා. එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ පාරිභෝගිකයන්ට පීඩා සිදු නොවන පරිදි විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම පාලකයන්ගේ වගකීමක් බවයි.

සිය ඉල්ලීම්වලට පැය 48 ක් ඇතුළත පිළිතුරු ලබානොදුනහොත් අද ආරම්භ කරන වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කරන බවද රන්ජන් ජයලාල් මෙහිදී කියාසිටියා.