Tuesday, April 23, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සියල්ල සූදානම් - නෙත් මෙවරත් මාධ්‍ය අනුග්‍රහය




කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. 

සැප්තැම්බර් 15 වැනි සිකුරාදා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මෙවර පොත් ප්‍රදර්ශනය නිමාව දකින්නේ සැප්තැම්බර් 24 වැනිදායි.

සුපුරුදු පරිදි මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව ඊට මාධ්‍ය අනුග්‍රහය දක්වනවා. ඒ සිවුවෙනි වරටයි.

දින 10 ක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශනය 19 වෙනි වතාවටත්  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනවා.

ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනයකම උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාවට එය විවෘතවන අතර මෙවර ප්‍රදර්ශන කුටි 452 කින් එය සමන්විත වනවා.

ඉන් 50 කට ආසන්න ප්‍රමාණයක්ම විදේශීය ග්‍රන්ථ කුටිවලින් සමන්විත වීම විශේෂයි. පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් දිනපතා විවිධ සංස්කෘතික අංගයන් සහ තවත් විශේෂ වැඩසටහන් රැසක්ම සංවිධාකයින් විසින් සූදානම් කර තිබෙනවා.

මේ අතර සුපුරුදු පරිදි මෙවරද නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ ප්‍රදර්ශන කුටියක් පොත් ප්‍රදර්ශන භූමියේ පිහිටා තිබෙනවා. නෙත් කුටියට පැමිණෙන ඔබට නෙත් එෆ් එම් 'අටපාස්' වැඩසටහනේ කතා ඇතුලත් 'අලබෝල ටියුෂන් විද්‍යාලයේ කතා' පොතෙහි දෙවන සංස්කරණය මෙන්ම අලුතින් නිකුත් කළ 'කජුබිස්තාන් පොලීසියේ කතා පොත' සහ ධර්ම දේශනා ඇතුලත් සංයුක්ත තැටි  විශේෂ මිලකට ලබා ගැනීමට හැකියාව පවතිනවා. 

එමෙන්ම 19 වෙනි අඟහරුවාද සහ 22 වෙනි සිකුරාදා දිනවල නෙත් එෆ් එම් ලක්ෂපති මීටරේ වැඩසටහනක් සජීවීව මෙම ප්‍රදර්ශන භූමියේ සිට ගෙන ගෙන එන අතර දිනපතා විවිධ තරඟ ඉසවු ගණනාවක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.