Saturday, April 20, 2024

General line - 0115112241

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති පත් කෙරේ




රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන එස්. ඒ. පී. සූරියප්පෙරුම සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන තිබෙනවා.

ලංකා බැංකුවේ අභ්‍යාසලාභී කළමනාකරුවෙකු වශයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි මොහු, පසුව සෙලාන් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙක්.

බැංකු ක්ෂේත්‍රයෙන් ඉවත්ව, ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙසත්, සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, සමෘද්ධි අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙසත්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පසුගිය කාලය තුළ දී ඔහු කටයුතු කළා.

මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස තුසිත හල්ඔලුව පත්කර තිබෙනවා.

රාජ්‍ය ආයතන කිහිපයකම ඔහු මීට පෙරත් ප්‍රධාන තනතුරු හොබවනු ලැබුවා.

සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති