Friday, April 26, 2024

General line - 0115112241

වෛද්‍යවරයකුගේ 'නොසැලකිළිමත්කම නිසා' පුතු මියගිය බවට චෝදනා (PHOTOS)




කොළඹ මහ රෝහලේ වෛද්‍යවරයකුගේ නොසැලකිළිමත්කම හේතුවෙන් දරුවෙකු මියගොස් ඇති බවට චෝදනා එල්ල වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එස්.ඩබ්ලිව්.කේ සකුන්ත සමරකෝන් නම් රත්නපුර පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. 

රත්නපුර මහ රෝහල් වෛද්‍යවරයකු පවසා ඇත්තේ දරුවාගේ ඔළුවේ ගෙඩියක් ඇති බවයි. 

එම නිසා එම්.ආර්.අයි පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය බැවින් දරුවාව රත්නපුර මහ රෝහලෙන් කොළඹ මහා රෝහල වෙත  මාරුකර යවා තිබෙනවා.

එහිදී කොළඹ මහ රෝහල් වෛද්‍යවරයකු විසින් දරුවාට ශල්‍යකර්මයකට ලක්‌ කර තිබෙනවා.

කොළඹ මහා රෝහලේ වෛද්‍යවරයකු විසින් සිදුකළ ශල්‍යකර්මය නොසැලකිලිමත්ව සිදුකිරීම හේතුවෙන් දරුවා මිය ගොස් ඇති බවයි දරුවාගේ මව පවසන්නේ.

දරුවාගේ මවගේ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.

"දෙසැම්බර් මාසයේ මගේ දරුවාගේ ඇස් පරීක්ෂණයක් සඳහා රත්නපුර මහ රෝහලට ගියා. එම අවස්ථාවේදී දරුවාව පරික්ෂා කළ වෛද්‍යවරයා කිව්වේ දරුවාගේ ඇස් වල දෝෂයක් නෑ කියලයි. 

පසුව දරුවාගේ ඔළුවේ ගෙඩියක් ඇති බව දරුවාව පරික්ෂා කළ වෛද්‍යවරයා කිව්වා. එම නිසා දරුවාව කොළඹ මහා රෝහලට මාරු කිරීමට කටයුතු සුදානම් කළා. 

ඊට පස්සේ කොළඹ මහ රෝහල් වෛද්‍යවරයකු විසින් දරුවාට පළමු ශල්‍යකර්මය කළා. පසුව දරුවා මාසයක පමණ කාලයක් රෝහලේ වාට්ටුවේ ඉඳලා සනීප වුණාට පස්සේ ගෙදර ආවා. 

ශල්‍යකර්මය කරපු වෛද්‍යවරයා කිවුවා ශල්‍යකර්මය සාර්ථකව කළා. ඔළුවේ ගෙඩියේ තව කොටසක් තියෙනවා අපි ඒක තව මස හය හතකින් අයින් කරමු කියලා. 

ඊට පස්සේ ටික දවසක් යද්දී දරුවගේ කකුල පැටලිලා ගෙදර වැටුණා. අපි දෙවෙනි පාරටත් දරුවාව වෛද්‍යවරයට පෙන්නන්න කොළඹ මහ රෝහලට ගියා.

ඒ ගියාම පළමු වරට ශල්‍යකර්මය කරපු වෛද්‍යවරයාට බාරයේ ඇති 81 වාට්ටුවට දරුවාව ඇතුළත් කර ගත්තා. පස්සේ අපිට දැනගන්න ලැබුණා දරුවාට පළමු වරට කරපු ශල්‍යකර්මයේ රිපෝට් එක බලන්නෙත් නැතුවයි මේ දෙවෙනි ශල්‍යකර්මය කරලා තියෙන්නේ. 

අන්තිම මොහොතේ තමයි දැනගත්තේ දරුවාට හැදිලා තියෙන්නේ කැන්සර් එකක් කියලා. ඒ විස්තර පළමුව කරපු ශල්‍යකර්මය රිපෝට් එකේ තියෙනවා. දරුවාගේ පියා මේ රිපෝට් එක වෙනත් වාට්ටුවක තිබිලයි පසුව සොයාගෙන තියෙන්නේ. එතකන් ශල්‍යකර්මය කරපු වෛද්‍යවරයා දැනගෙන ඉදලත් නෑ රිපෝට් එකේ තිබ්බ විස්තර මොනවාද කියලා.

ඊට පස්සේ මෙයාලා දරුවාව මහරගම පිළිකා රෝහලට ඇතුලත් කලා එතැනදී දරුවාව පරික්ෂා කරපු වෛද්‍යවරිය කිවුවේ දැනටමත් පරක්කු වැඩියි. මුලදීම දරුවාව ඇතුලත් කරානම් ජීවිතය බේරගන්න තිබ්බා කියලයි. "