Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට වසර 02ක තරග තහනමක්




හිටපු ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩක චාමර සිල්වාට සහ  කළුතර ක‍්‍රීඩා සමාජයේ නායක මනෝජ් දේශප‍්‍රියට වසර 2ක තරග තහනමක් පනවා තිබෙනවා.

චාමර සිල්වා පානදුර ක‍්‍රීඩා සමාජයේ නායක ලෙස කටයුතු කළා. 

කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අන්තර් සමාජ දෙවන පෙළ තරයකදී තරග පාවාදීමේ සිද්ධියකට මොවුන් වරදකරුවන් වීම නිසා මෙම තීරණයට එළැඹි බවයි. 

අදාළ තුන්දින තරගයේ අවසාන දිනයේදී මෙම ක‍්‍රීඩා සමාජ දෙක පන්දු වාරයකට ලකුණු  10ට වැඩියෙන් රැස්කිරීම සහ දිනක් තුළ කඩුළු 24ක් බිඳවැටීම එම තරගය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට හේතුවුණා. 
 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව මෙසේ තීරණය කර තිබෙනවා.

1.    චෝදනාවට තුඩු දුන් එකී තරඟය සහ එහි ප්‍රතිඵල බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීමට.

2.    එකී ක්‍රීඩා සමාජවලින් තරඟ ගාස්තුව අය කර ගැනීමට සහ රුපියල් 500,000/- බැගින් දඩ නියම කිරීමට.

3.    ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයින් වශයෙන් ක්‍රියා කල මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන අය හට වසර 2 ක කාලයක් සඳහා සියළුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම (ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව)

4.   අනෙකුත් චූදිත සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් හට වසර 1 ක කාලයක් සඳහා සියළුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම (ක්‍රීඩාව, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව) 

5.    තරඟ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.

චාමර සිල්වා